තවත් වැව් 15 ක රක්ෂිත මායිම් සලකුණු කිරීම මේ මාසයේ සිට

තවත් වැව් 15ක රක්ෂිත මායිම් සලකුණු කිරීම මේ මාසයේ ආරම්භ කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව, Clean Sri Lanka ලේකම් කාර්යාලය හා මිනුම්දෝරු දෙපාර්තමේන්තුව සමඟ එක්ව එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ වන විට නුවර වැව, තිස්ස වැව සහ රිදියගම වැවේ රක්ෂිත මායිම් සලකුණු කිරීම ආරම්භ කර ඇති අතර, වැව් රක්ෂිත සලකුණු කිරීමෙන් පසුව ඒවායේ ඇති නීති විරෝධී ඉදිකිරීම් සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට නියමිතයි.

මේ වසරේ වැව් 23 ක රක්ෂිත මායිම් සලකුණු කිරීමට සැලසුම් කර ඇති අතර, ඒ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 100 ක් බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.