‘කිසිමදේකින් චීනය නවත්තන්න බැහැ’ -චීන ජනපති ලෝකයට කියයි

ලෝකයා යුද්ධය ද? සාමය ද? යන්න තෝරාගැනීමකට යළි මුහුණ දී සිටින බව චීන ජනපති ෂි ජින්ග්පින්ග් ලෝක නායකයන් හමුවේ පවසා තිබෙනවා.

ඒ චීනයේ එතෙක් මෙතෙක් පැවති දැවැන්තම හමුදා පෙළපාළිය හමුවේ දීයි.

‘චීනය අපහසුතාවට පත්කරන්නන්ට කවදාවත් බියවුණේ නෑ’ යැයි පවසන චීන ජනාධිපතිවරයා ‘චීනය නවත්තන්නත් බෑ’ යැයි ද අවධාරණය කළා.

දෙවන ලෝක යුද්ධය අවසන් වී 80 වැනි සංවත්සර සැමරුම වෙනුවෙන් රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින්, උතුරු කොරියානු නායක කිම් ජෝන් උන් ඇතුළු රටවල නායකයින් 26ක් සමඟ 50000කට අධික පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වී සිටිනවා.

චීනයේ නවීනතම යුධෝපකරණ, මිසයිල, හමුදා ශක්තිය මෙම අවස්ථාවේදී ප්‍රදර්ශනය කිරීමටයි පියවර ගෙන තිබුණේ. යුද ටැංකි සහ ඩ්‍රෝන් යානාවල සිට දිගු දුර සහ න්‍යෂ්ටික හැකියාව ඇති මිසයිල, ප්‍රහාරක ජෙට් යානා සහ ස්ටෙල්ත් ගුවන් යානා දක්වා, අලුතින් සංවර්ධනය කරන ලද චීන සන්නද්ධ ශක්තිය මෙහිදී ප්‍රදර්ශනය කෙරුණා.

මහමුහුදේ නෞකාවල ස්ථාපනය කර තිබූ හයිපර්සොනික් මිසයිල ඇතුළු ඇතැම් යුද අවි මෙලෙස ලෝකයට ප්‍රදර්ශනය කෙරුණේ ප්‍රථම වතාවටයි. දියයට මෙහෙයුම් කරන ඩ්‍රෝන්, අන්තර් මහාද්වීපික බැලැස්ටික් මිසයිල, දිගුදුර මිසයිලද මෙහිදී ප්‍රදර්ශනය කළා.

මින් පෙර සිදු නොවුණු ආකාරයේ ශක්තිමත් දේශපාලන බලඑකමුතුවක් සිය වේදිකාවේ හුවා දක්වමින් චීනය සෙසු රටවල් සමඟ ඇති සමගි සම්බන්ධතාව පිළිබඳ මෙහිදී ලෝකයට පෙන්වා දුන්නා.

මෙම සැමරුමට සහභාගි වී සිටින පුටින් සහ කිම් අතර සාකච්ඡා ද පවත්වා තිබෙනවා.