රණවිරුවන් පීඩාවට පත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ලිපියක්

රණවිරුවන් පීඩාවට පත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අස්ගිරි පාර්ශවයේ මහා නායක පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් වෙත ලිපියක් නිකුත්කර තිබෙනවා.

එම පක්ෂයේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම්ගේ අත්සනින් යුතුවයි මෙම ලිපිය නිකුත්කර ඇත්තේ.

එම ලිපිය පහතින්.

”තිස් අවුරුද්දක් පුරා පැවැති බිහිසුණු ත්‍රස්තවාදයෙන් මාතෘ භූමියේ නිදහස ලබා ගතවෙමින් පවතින්නේ දාසය වන වසරයි. යුද්ධය අවසන් වුවත් ත්‍රස්තවාදයට අදාළ දෘෂ්ටිවාදය තවමත් අවසන් නැති බව තේරුම් ගැනීම අපහසු නැත. එහි එක් ප්‍රකාශිත අවස්ථාවක් වන්නේ මව්බිමේ නිදහස වෙනුවෙන් සිය දිවි දෙවැනි කොට ස්වකීය රාජකාරිය ඉටු කළ රණවිරුවන් උපක්‍රමිකව පීඩාවට ලක් කිරීමයි .එය කිසිසේත්ම උතුරේ සාමාන්‍ය ජනතාවගේ වුවමනාවක් නොවන බව අපි ඉතා නිරවුල්ව අවබෝධ කරගෙන සිටින්නෙමු.

වර්තමාන පාලකයින් රණවිරුවන්ට එරෙහි වෛරය මතවාද උද්වීපනය වන ආකාරයෙන් කටයුතු කරන අතරම එකී මතය දරන්නන් තෘප්තිමත් කිරීමේ ප්‍රයන්තයකද නිරත වන බව අපගේ නිරීක්ෂණයයි. වර්තමාන ආණ්ඩුව බලයට පත් කිරීම වෙනුවෙන් විවිධ බාහිර පාර්ශවයන්ගේ සහාය ලැබුණු බව රහසක් නොවේ. එකී පාර්ශවයන්හි එක් ප්‍රමුඛ අරමුණක් වන්නේ වර්තමාන පාලකයෙන් ලවා රණවිරුවන් දැඩිව පීඩාවට පත් කරවීමයි රණවිරුවන් කෙරෙහි වෛරයෙන් පසුවන පාර්ශවයන් සහ වර්තමාන ආණ්ඩුව අතර අප්‍රකාශිත නොනිල එකඟතාවක් පවතින බවට වන සැකය ඉතා බලවත් ලෙස තහවුරු වෙමින් තිබේ. රණවිරු දඩයම සිදුවන්නේ එකී දෙපාර්ශවයේම අන්‍යෝන්‍ය අවබෝධයකින් විය යුතුය.

මව් බිමට සාමය දිනා කෘතවේදීව සිහිපත් කරමින් පවත්වන වාර්ෂික රණවිරු උපහාර උළෙල කෙරෙහි මේ ආණ්ඩුව දැක්වූ නොසැලකිල්ල පසුගිය රණවිරු උපහාර සමයේ පැහැදිලි ලෙසම අනාවරණය විය. ත්‍රස්තවාදය උත්සවාකාරයෙන් සැමරීම සම්බන්ධයෙන් ආණ්ඩුව අනුගමනය කළේ ඉතා නිද්‍රාශීලී පිළිවෙතකි. දිවයිනෙන් බැහැරව ත්‍රස්තවාදීන් වෙනුවෙන් උපහාර සිහිවටන ඉදි වෙද්දී, රණවිරුවන්ට සම්පාදක පනවද්දීත් ඊට අදාළ ප්‍රාණවත් රාජතාන්ත්‍රික මැදිහත්වීමක් සිදුකිරීමට වර්තමාන ආණ්ඩුව අපොහොසත් විය. අනාගතයේ යම් දවසක හිටපු ත්‍රස්තවාදී සාමාජිකයින් හමුවේ චූදිතයින් ලෙස පෙනී සිටීමට සිදුවෙතැයි එදා සටන්බිමේ සිටි විරෝධාර රණවිරුවන් නොසිතුවාට සැක නැත. මේ සියල්ල මගින් සිදුවන්නේ ත්‍රස්තවාදය සාධාරණීකරණය කිරීම සහ එය වීරත්වයට ඔසවා තැබීමකි. ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් හමුවේ රාජ්‍යයේ පැවැත්මත් පොදු සමාජ යහපතත් වෙනුවෙන් හමුදාමය මැදිහත්වීමක් සිදුකිරීම ලෝකයේ ඕනෑම රටක් අනුගමනය කරන පොදු සම්මත තත්ත්වයෙකි. එම විශ්වීය මූලධර්ම මත සිදුකරන ප්‍රජාතන්ත්‍රවාදී මැදිහත්වීම පසු කලෙක ප්‍රශ්න කිරීමකට ලක් වීම සාමාන්‍යයෙන් සිදු නොවන්නකි. ත්‍රස්තවාදය කිසිදු ආකාරයක විමර්ශනයකට හෝ ප්‍රශ්න කිරීමට ලක් නොවද්දී රාජ්‍යයේ ප්‍රජාතන්ත්‍රවාදය මැදිහත්වීම වෛරී සහගත ලෙස ප්‍රශ්න කිරීම එක් අතකින් පුදුම සහගතය.

කෙසේ වෙතත් මාතෘ භූමියේ නිදහස වෙනුවෙන් දිවිහිමෙන් කැපවුණු රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටීමේ වගකීම ඉතිහාසය විසින් අප වෙත පවරා ඇත. එය අත්හළ නොහැකි වගකීමකි. දේශපාලන ව්‍යාපාරයක් ලෙසත් පොදු මහජනතාවගේ සැදුම්ලත් සමාජ ව්‍යාපාරයක් ලෙසත් අපි එකී වගකීම ඉටු කරලන්නෙමු. ඒ සඳහා උත්තරීතර මහනායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ ගෞරවනීය මහා සංඝරත්නය ආශිර්වාදාත්මක සහයෝගය පාද නමස්කාර පූර්වකව අයැද සිටින්නෙමු.”

No description available.