පොල් සොරෙකුට වෙඩි තැබූ මුරකරු අත්අඩංගුවට

අද (02) අලුයම මාතලේ, කොහොළන්වල ප්‍රදේශයේ පොල් වත්තකට අනවසරෙන් ඇතුළු වී, පොල් සොරකම් කරමින් සිටි පුද්ගලයෙකුට එම වත්තෙහි මුරකරු විසින් වෙඩි තබා තිබෙනවා.

එම වෙඩි තැබීමෙන් තුවාල වූ පුද්ගලයා මාතලේ දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

අක්කර 20ක පමණ විශාල මෙම පොල් වත්තේ පොල් සොරකම් කිරීම සඳහා තුවාලකරු සමග තවත් පුද්ගලයෙකු පැමිණ ඇති අතර, එම අවස්ථාවේ දී එම වත්තේ මුරකරු විසින් මෙම පුද්ගලයින් දෙසට වෙඩි ප්‍රහාර එල්ල කර ඇති බවත්, එහිදී එක් වෙඩිල්ලක් මොවුන් දෙදෙනාගෙන් අයෙකුට වැදී ඇති බවයි සඳහන් වෙන්නේ.

වෙඩි වැදුණ ද, එම පුද්ගලයා මීටර් පන්සීයක් පමණ දිව ගොස් ඇති අතර, ඔහු කොහොලන්වල ප්‍රධාන මාර්ගය අසල වැටී සිටියදී එහි ප්‍රදේශවාසීන් විසින් රෝහල්ගත කිරීමට කටයුතු කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වත්තෙහි මුරකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මහවෙල පොලීසිය මඟින් වැඩිදුර විමර්ශන සිදුකරනවා.