මාරක රිය අනතුරු කිහිපයකින් පුද්ගලයින් තිදෙනෙකු මරුට

මාරක රිය අනතුරු කිහිපයකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව පොලීසිය පවසයි.

පොලීසිය පැවසුවේ මෙම අනතුරු ඊයේ දින සිදුව ඇති බවය.

ඒ අනුව ඇඹිලිපිටිය පොලිස් වසමේ ඇඹිලිපිටිය මොරකැටිය මාර්ගයේ 09 ඇල ප්‍රදේශයේදී මොරකැටිය දෙස සිට ඇඹිලිපිටිය දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් රියදුරුට පාලනය කර ගත නොහැකිව ඉදිරියෙන් පැමිණි යතුරුපැදියක ගැටී අනතුරක් සිදුව තිබේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ ත්‍රී රෝද රථ රියදුරු සහ ඔහුගේ බිරිඳ සහ යතුරුපැදිකරු මෙන්ම පසුපැදිකාරිය ප්‍රතිකාර සඳහා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ත්‍රී රෝද රථ රියදුරු මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 75ක් වූ වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

එමෙන්ම හික්කඩුව පොලිස් වසමේ ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ පන්නම්ගොඩ ප්‍රදේශයේදී හික්කඩුව දෙස සිට ගාල්ල දෙසට ධාවනය වූ ලොරි රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටී අනතුරක් සිදුව තිබේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු හා පසුපැදිකරු ආරච්චිකට්ටුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු යතුරුපදිකරු ජීවිතක්ෂයට පත්ව ඇත.

මියගොස් ඇත්තේ අවුරුදු 23ක් වූ අඟුරුවාතොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

තවද නොච්චියාගම පොලිස් වසමේ පුත්තලම ත්‍රිකුණාමලය මාර්ගයේ පනන්කානිය හන්දිය ප්‍රදේශයේදී පුත්තලම දෙස සිට අනුරාධපුර දෙසට ධාවනය වූ මෝටර් රථයක මාර්ගය හරහා ගමන් ගත් කාන්තාවක් ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් බරපතළ තුවාල ලැබූ එම කාන්තාව ප්‍රතිකාර සඳහා නොච්චියාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ අවුරුදු 75ක් වූ වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචිකාරියකි.