අධිවේගී මාර්ගවල ගමන් ගන්නා මගී ප්‍රවාහන බස් රථවල ගමන් කරන්නන්ට ආසන පටි පැළදීම අනිවාර්ය කිරීමේ විධිවිධාන ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කිරීමට නියමිතයි.
ඊට අදාළව පසුගියදා පැවති ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී ද අවධානය යොමු වුණා.
මේ අතර, අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සියලු වාහන වල සිටින සෑම මගියෙකුම ආසන පටි පැලදීම හෙට සිට අනිවාර්ය බවයි ප්‍රවාහන අමාත්‍යංශය මීට පෙර නිවේදනය කළේ.
කෙසේ වෙතත්, අධිවේගී මාර්ගවල ගමන් කරන පාසැල් බස් රථ, කාර්යාල සේවකයින් ප්‍රවාහන බස්රථ, විනෝද චාරිකා බස් රථ සහ අනෙකුත් බස් රථ සඳහා ද ආසන පටි සවිකරගැනීමට මාස 3 ක පමණ සහන කාලයක් ලබාදීමට අවදානය යොමුව ඇති බව වාර්තා වුණා.
අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සියලු සැහැල්ලු වාහන වල පසුපස ආසනවල සිටින මගීන් ආසන පටි පැළදීම පසුගිය පළමුවනදා සිට අනිවාර්ය කෙරුණා.
ඒ අනුව ආසන පටි පැළඳීමකින් තොරව අධිවේගී මාර්ගවල ගමන් කරන රියදුරන්ට එරෙහිව මේ වන විට නීතිය ක්‍රියාත්මක කෙරෙනවා.
එසේම, සියලුම මාර්ගවල ගමන් ගන්නා සියලු බස් රථ රියදුරන්ට ආසන පටි පැළදීම අනිවාර්ය කෙරුණේ පසුගිය ජූලි පළමුවනදා සිටයි.