වෛද්‍ය ආචාරධර්ම හා නීතියට පටහැණිව හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ජනමාධ්‍යයට කරුණු අනාවරණය කිරීම සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ, වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාට එරෙහිව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විනය පරීක්ෂණයක් සිදු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති, වෛද්‍ය හංසක විජයමුණි මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (27) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ පැවති මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.
“නියෝජ්‍ය අධ්යක්ෂවරයාට මේ ආකාරයෙන් රෝගියකුගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් කරුණු හෙළිදරවු කිරීමට කිසිදු අයිතියක් නෑ. රෝගියාගේ තරාතිරම කුමක් වුවත් මේ ආකාරයෙන් රෝගී තත්ත්වයන් සම්බන්ධ කරුණු හෙළි කිරීම වෛද්‍ය ආචාරධර්මවලට මෙන්ම නීතියට පටහැණියි. එලෙසින්ම එය සදාචාරාත්මක නොවන ක්‍රියාවක්. අනෙක් විශේෂිතම කාරණය වන්නේ ඔහු පැවසූ ඇතැම් කරුණු සාවද්‍ය වීමයි.
දේශපාලන අදහසක් ප්‍රකාශ කිරීම සහ කෙනකුගේ රෝග තත්ත්වය අනාවරණය කිරීම අතර බරපතළ වෙනසක් තිබෙනවා. දැනගන්නට තිබෙන තොරතුරුවලට අනුව බෙල්ලන මහතා කලක් එජාපය හා එක්ව කටයුතු කර තිබෙනවා. රජයේ දේශපාලන හිමිකමක් නැති නිලධාරියකු ලෙස ඔහු ඊට පටහැණිව ක්‍රියා කර තිබේද යන්න සොයා බැලිය යුතුයි.
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතිකාර ලබමින් සිට ඇත්තේ නියෝජ්‍ය අධ්යක්ෂ රුක්ෂාන් බෙල්ලන මහතාගේ පාලනය යටතේ පවතින කොටසක නොවේ. එසේ තිබියදී ඔහු සිදු කර තිබෙන්නේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයාට කිසිසේත්ම අයිති නැති ක්‍රියාවක්.”