පද්මේ ඇතුළු පිරිස අත්අඩංගුවට ගත් මෙහෙයුම ගැන පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්

ඉන්දුනීසියාවේදී එක් කාන්තාවක් සමඟ පුද්ගලයන් 06 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසනවා.

මෙවැනි අපරාධකරුවන් පිරිසක් එකවර අත්අඩංගුවට ගත් පළමු අවස්ථාව මෙය බවයි අද (28) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් පොලිස්පතිවරයා සඳහන් කළේ.

ඒ අනුව, ඉන්දුනීසියානු ආරක්ෂක අංශ සමඟ සම්බන්ධීකරණයෙන්, ජාත්‍යන්තර පොලීසියේ ද සහයෝගය ලබා ගනිමින් මෙම මෙහෙයුම සිදු කළ බව පොලිස්පතිවරයා ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා පොලීසිය විසින් එරට ආරක්ෂක අංශවලට අවශ්‍ය තොරතුරු ලබා දෙමින්, ඔවුන් සමඟ සම්බන්ධීකරණය සිදු කරමින් දින 07 ක මෙහෙයුමක් ලෙස මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බවයි පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත, පානදුරේ නිලංග, බැකෝ සමන් සහ තැඹිලි ළහිරු යන අන්වර්ථ නාමවලින් හඳුන්වා ගන්නා අපරාධ කල්ලි සාමාජිකයන් පිරිසක් අද (28) ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන තිබුණා.