උතුරුදිග චීනයේ ඉදි කරමින් පැවැති දුම්රිය පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයන් 12 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි ද, තවත් පුද්ගලයන් සිවුදෙනකු අතුරුදන්වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කඩා වැටී ඇත්තේ උතුරුදිග චීනයේ ෂිංග්හායි ප්‍රාන්තයේ පිහිටි ‘කහ නදිය‘ ලෙස හඳුන්වන හොවැංග්හෝ ගංගාවට ඉහළින් ඉදි කරමින් පැවැති පාලමෙහි කොටසක් බවත්, ඒ වනවිට සේවකයන් 16 දෙනකු ඉදි කිරීම් කටයුතුවල නිරතව සිටි බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. චීනයේ ෂිංහුවා පුවත් සේවය සඳහන් කර ඇත්තේ එම පාලමේ ඉහළ කොටසේ සවි කර තිබූ යකඩ රැහැන් පද්ධතිය කඩා වැටීමෙන් එම අනතුර සිදුවී ඇති බවය.
චිනයේ දෙවැනි දිගම ගංගාව ලෙස සැලකෙන හොවැංග්හෝ නදිය අඩි 33ක් පමණ ගැඹුරු බවත්, අතුරුදන්වූ ඉදි කිරිමේ සේවකයන් සොයා 800ක පිරිසකගෙන් යුතු ආපදා කළමනාකරණ කණ්ඩායමක් මෙහෙයුම් ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. දුම්රිය පාලම කඩා වැටීම සම්බන්ධව විමර්ශනයක් සිදු කිරීමට චීන රජය පියවර ගෙන ඇතැයි ෂිංහුවා පුවත් සේවය සඳහන් කර තිබේ. එම ගංගාව ‘කහ නදිය‘ ලෙස හඳුන්වනු ලබන්නේ උතුරුදිග චීනයේ ලෝස් සානුවෙන් එක්රැස් වන කහ පැහැති රොන් මඩ විශාල ප්‍රමාණයක් ගංගාව ඔස්සේ ගලා යෑම හේතුවෙන් බව ද වාර්තා වේ.