රුසියාවෙන් වට්ටම් සහිත තෙල් මිලදී ගැනීමට එරෙහිව තීරුබද්ද දෙගුණයක් කරමින් ලොව විශාලතම ආර්ථිකයකට හිමිකම් කියන ඉන්දියාවට ඩොනල්ඩ් ට්‍රම්ප් නියම කළ 50%ක තීරුබද්ද ඉන්දීය ආර්ථිකයට සහ ගෝලීය සැපයුම් ජාලයට දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි ජාත්‍යන්තර ආර්ථික විශ්ලේෂකයන් අනාවැකි පළ කළ ද, අමෙරිකාවේ ජනාධිපතිවරයාගේ තර්ජනයට බියෙන් ඉන්දියාවේ විදේශීය ප්‍රතිපත්තිය වෙනස් නොකරන බවත්, දේශීය ගොවියා අසීරුතාවට පත් කිරිමට ඉන්දීය රජයට නොහැකි බවත් අගමැති නරේන්ද්‍ර මෝදි අවධාරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සිය ගෝලිය තීරුබදු ප්‍රතිපත්තියට අනුව මීට පෙර ඉන්දියාවට පැනවූ 25%ක ආනයනික තීරුබද්ද දෙගුණයක් කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගනු ලැබුවේ යුක්රේන යුද ගැටුම්වලට ඉන්දියාව වක්‍රාකාරව අරමුදල් සපයන බවට චෝදනා කරමින් බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. එම තීරුබද්ද ආනයනික භාණ්ඩ සඳහා අමෙරිකාව සිය වෙළෙඳ හවුල්කරුවන්ට පනවනු ලැබූ තීරුබදුවලින් ඉහළම ප්‍රතිශතය වන අතර, එවැනිම ප්‍රතිශතයක් බ්‍රසීලයට පැනැවීමට ද ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන තිබේ. අමෙරිකාව සහ ඉන්දියාව අතර තීරුබදු සම්බන්ධව මීට පෙර අවස්ථා ගණනාවකදීම සාකච්ඡා පැවැතියද එම සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් වී ඇත්තේ දේශීයත්වයට ප්‍රමුඛත්වය ලබාදීමේ ප්‍රතිපත්තිය මත ඉන්දීය රජය අමෙරිකානු ජනාධිපතිවරයාගේ කොන්දේසි රැසක් ප්‍රතික්ෂේප කළ බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
මේ අතර ජර්මනියේ ෆ්රැන්ක්ෆර්ට් නුවර මාධ්‍ය වාර්තාවක් උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය සඳහන් කර ඇත්තේ දෙරට අතර තීරුබදු අර්බුදය මධ්‍යයේ අමෙරිකානු ජනාධිපතිවරයා පසුගිය සති කිහිපය ඇතුළත ලබාදුන් දුරකතන ඇමැතුම් 4ක්ම අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රතික්ෂේප කර ඇති බවය. ජපානයේ නිකී ඒසියා පුවත් සේවය ද එවැනිම වාර්තාවක් පළ කර ඇති අතර, සිය දුරකතන ඇමැතුම් මෝදි ප්‍රතික්ෂේප කිරිම ට්‍රම්ප්ගේ කළකිරීම වර්ධනය වීමට හේතුවූ බව ද එහි සඳහන් කර ඇතැයි වාර්තා වේ. කෙසේ වෙතත් එම වාර්තාව ඉන්දීය රජය මෙතෙක් තහවුරු කර නැති බව ද වාර්තා වේ.
රුසියාවෙන් තෙල් මිලදී ගැනීමට එරෙහිව ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් දෙගුණයක් කළ ඉන්දීය තීරුබද්ද සම්බන්ධව දැඩි ස්ථාවරයක සිටින අගමැති මෝදි ජනතාවගේ ආර්ථික බලපෑම් අවම කිරීම සඳහා තීරුබදු අඩු කරන බවට පොරොන්දු වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එරට මිලියන ගණනාවක සුළු ව්‍යාපාරවලට දැවැන්ත බදු ප්‍රසාද දීමනාවක් අත්වන දීපාවලී ත්‍යාගයක් පිරිනමන බව පසුගියදා පැවැති ඉන්දීය නිදහස් දින උත්සවයේදී අගමැති මෝදි ප්‍රකාශ කර තිබේ.
සිය වෙළෙඳසල් ඉදිරිපිට දේශීය හෝ ඉන්දියාවේ නිෂ්පාදිත භාණ්ඩ ලෙස සඳහන් පූවරු සවි කරන ලෙසත් එදින නවදිල්ලි නගරයට එක්රොක් වූ දහස් සංඛ්‍යාත ජනතාව අමතමින් අගමැතිවරයා ඉල්ලා සිටි බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ඉන්දියාව ස්වයංපෝෂිත විය යුතු බවත්, ආර්ථික ආත්මාර්ථකාමීත්වය ගෝලීය වශයෙන් ඉහළ යමින් පවතින අවස්ථාවක දුෂ්කරතා සඳහන් කරමින් හඬා නොවැටී නැඟී සිටිය යුතු බව තරයේ සිතට ගන්නා ලෙස අවධාරණය කර ඇති අගමැති මෝදි බාහිර බලවේගවල ග්‍රහණයට හසු නොවිය යුතු බවද ප්‍රකාශ කර තිබේ. එම ප්‍රකාශය ඔහු තවත් මහජන රැලි දෙකකදී පමණ නැවත නැවතත් සිහිපත් කර ඇතැයි ද වාර්තා වේ.
මේ අතර රුසියාවේ විශාලතම තෙල් ආනයනකරු වන චීනයට සම්බාධක පැනවීමෙන් වැළකී සිටිමින් ආසියාවේ චීන ආධිපත්‍යයට මුහුණ දිය හැකි එකම ප්‍රතිවාදියා වන ඉන්දියාවේ තීරුබදු ඉහළ නැංවීම වසර 25ක ශක්තිමත් ආර්ථික සම්බන්ධතා කපා හැරීමක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු අමෙරිකානු තානාපතිනිය නිකී හේලි පසුගියදා ප්‍රකාශ කළ අතර, ඉන්දියාවට නිදහස් හා ප්රජාතන්ත්රවාදී හවුල්කරුවකු ලෙස සැලකිය යුතු බව නිව්ස්වීක් සඟරාවට තීරු ලිපියක් ලියමින් සඳහන් කළ බව වාර්තා වේ. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමීපතමයකු ලෙස ඔහුගේ පළමු ධුර කාලයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අමෙරිකානු තානාපතිනිය ලෙස කටයුතු කළ ඇය ඉන්දියාව ලොව වඩාත්ම වේගවත් ආර්ථක වර්ධනයකට හිමිකම් කියන රාජ්‍යයක් බැවින් ආර්ථික ප්‍රතිවාදියකු ලෙස නොසැලකිය යුතු බවද සඳහන් කර තිබේ. ඉන්දියාව රුසියාවෙන් තෙල් මිලදී ගැනීමෙන් යුක්රේනයට එරෙහි යුද්ධයට වක්‍ර අයුරින් අරමුදල් සපයන බව ප්‍රකාශ කරමින් ජනාධිපති ට්‍රම්ප් තීරුබදු ඉහළ නැංවීම නිවැරැදි ක්‍රියා මාර්ගයක් වුවත්, අමෙරිකා- ඉන්දීය ශක්තිමත් සබඳතා ඉතිහාසය ආරක්ෂා කරගැනීමට පියවර ගත යුතුව ඇතැයි ද සිය තීරු ලිපිය මගින් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.