ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවණගල ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර තිබූ ගොඩනැඟිල්ලක් ඇතුළු දේපළ ඉකුත් අරගල සමයේ විනාශයට පත් වීමෙන් අනතුරුව හානි පූර්ණ කාර්යාලය නිලධාරීන්ට බලපෑම් කර එම දේපළ වෙනුවෙන් රුපියල් 8,850,000ක වන්දි ලබා ගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ අගෝස්තු 29දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඊයේ (26) නියෝග කළේය.
මෙම වංචා සහගත සිද්ධියට මහවැලි අධිකාරියේ නිලධාරීන් කිහිපදෙනකු සම්බන්ධව ඇති බවට දැනට කෙරෙන විමර්ශනවලට අනුව අනාවරණය වෙමින් පවතින බැවින් ඔවුන් සියලු දෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව ද අල්ලස් කොමිසම අධිකරණයට දැන්වීය.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවණගල, කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර ඇති ගොඩනැඟිල්ල ඇතුළු දේපළ 2022.05.09 වැනි දින ඇති වූ ජනතා අරගලයේදී හානියට පත්වීමෙන් පසු එකී දේපළ සඳහා වන්දි ගෙවීමේදී එම දේපළ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සතු දේපළක් බවට හඳුනා ගෙන අදාළ වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කර තිබෙන බව අල්ලස් කොමිසමේ නීති අංශයේ සහකාර අධ්යක්ෂ සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මිය අධිකරණය හමුවේ සඳහන් කළාය.
වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කර තිබිය දී ඊට පටහැණිව හානි පූර්ණය සඳහා වන කාර්යාලයට අනුයුක්තව කටයුතු කළ සමහර රජයේ නිලධාරීන්ට තම නිල බලය භාවිත කරමින් බලපෑම් සිදු කර, වන්දි ලබාගැනීමෙන් දූෂණය නමැති වරද සිදුකිරීම සහ කුමන්ත්‍රණය කිරීම යටතේ මෙම සැකකරුට නඩු පවරා ඇති බවත් ඇය පැවසුවාය.
මෙම දේපළ මහවැලි අධිකාරිය සතු ඉඩමක පැවැති බැවින් මහවැලි අධිකාරිය සතු දේපළක් සාපරාධී සාවද්‍ය පරිහරණය තුළින් 1999 අංක 28 දරන පනතින් සංශෝධිත 1982 අංක 12 දරන පොදු දේපළ විෂයෙහිලා සිදු කරනු ලබන වැරදි පිළිබඳ 5(1) වගන්තිය ප්‍රකාරව දඬුවම් ලැබිය හැකි වරදක් සම්බන්ධයෙන් වන චෝදනා මත මෙම සැකකරු අත්අඩංගුවට අධිකරණයට ඉදිරිපත් කළ බව සහකාර අධ්යක්ෂ නීති සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මිය සහ ප්‍රධාන පොලිස් පරීක්ෂක අබේසිංහ මහතා සඳහන් සඳහන් කරනු ලැබූහ. ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවණගල ලිපිනයේ පිහිටි මහවැලි අධිකාරියට අයත් ඉඩමක එවකට වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ යන අය ඉදිකර ඇති ගොඩනැඟිල්ල ඇතුළු දේපළ 2022.5.9 දින ඇති වූ ජනතා අරගලයේ දී ගිනි තබා හානියට පත්කර තිබෙන බවත් ඒ හානියට පත් කරන ලද දේපළ සඳහා වන්දි ගෙවීමේ දී එම ඉඩම සහ දේපළ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සතු ඉඩමක් බවට හඳුනාගෙන ඇති බැවින් වන්දි ගෙවීම අමාත්‍ය මණ්ඩල විසින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය යටතේ විශේෂ වන්දි කමිටුව විසින් හා හානි පූර්ණ පිළිබඳ කාර්යාලයේ අධ්යක්ෂ මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කර තිබෙන බවත් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ සහකාර අධ්යක්ෂ නීති සුලෝචනා මහත්මිය සඳහන් කරනු ලැබුවාය.
ඊට පටහැණිව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය හා හානි පූර්ණ පිළිබඳ කාර්යාලයට තම නිල බලය භාවිත කරමින් බලපෑම් කර වන්දි ලබා ගනිමින් සැකකරු දූෂණය නමැති වරද සිදු කර තිබෙන බව විමර්ශන නිලධාරීන් අධිකරණට දැන්වීය.
සැකකාර පුද්ගලයා අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන ඇත්තේ කුමන්ත්රණකාරී ක්‍රියාවකින් නොව එම වංචාව සම්බන්ධයෙන් ලලිත් දිසානායක නමැත්තකු කරන ලද පැමිණිල්ලක් අනුව බව ද අල්ලස් කොමිසම අධිකරණයට පෙන්වා දුන්නාය. සිද්ධියට අදාළ මෙම සැකකරු අවස්ථා දෙකක දී චෙක්පත් දෙකක් යටතේ අසූ අට ලක්ෂ පනස් දාහක වන්දි මුදලක් ලබාගෙන තිබෙන බව ද සුලෝචනා මහත්මිය අධිකරණයට දැන්වූවාය.
“දූෂණ විරෝධී පනතේ 42/ඇ වගන්තිය යටතේ සහ පොදු දේපළ පනත යටතේ මෙම සැකකරුවන්ට දඬුවම් ලබා දෙන්න පුළුවන්. මහවැලි අධිකාරියට අයිති ඉඩමක අනවසරයෙන් මෙම ගොඩනැඟිල්ල ඉදිකර ඒ සඳහා මනෝජ් ඒකනායක නමැති තැනැත්තකු අයිතිකරු බව පවසා ඔහු යටතේ මෙම වන්දි මුදල ලබාගෙන තිබෙනවා. ස්වාමීනි. දූෂණ පනතේ එකසිය තිස් නවය වගන්තිය යටතේ චංචල දේපළ මෙලෙස නීත්‍යනුකූලව අවභාවිත කිරීම යටතේ මෙම සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන්න” යනුවෙන් සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මිය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.
සැකකාර රාජ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා සඳහන් කරනු ලැබුවේ, මගේ සේවා දායකයාට පොදු දේපළ පනත යටතේ නඩු පැවරිය නොහැකි බැවින් සුදුසු ඇපයක් මත ඇප ලබා දෙන ලෙසය. දෙපාර්ශ්වයේම ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළ සැකකාර හිටපු රාජ්‍ය අමාත්‍යවරයා ලබන 29 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියෝග කළේය.
බන්ධනාගාර නිලධාරීන් විසින් සැකකාර අමාත්‍යවරයා කොළඹ රක්ෂිත බන්ධනාගාරයට ඊයේ (26) සවස රැගෙන ගියේය.
කල්පනි අබේසිංහ
ඡායාරූපය – වාසිත පටබැඳිගේ