ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතියට අදාළව ගොනු කර තිබෙන පෙත්සම් සලකා බැලීමට දින නියම කෙරේ

මෙරට පුරවැසියන් සඳහා ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ඉන්දියාව සමඟ ඇති කරගෙන තිබෙන අවබෝධතා ගිවිසුම බල රහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු පාර්ශ්ව විසින් ඉදිරිපත් කර තිබෙන පෙත්සම් ඔක්තෝබර් මස 17 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (27) නියෝග කර තිබෙනවා.

මෙම පෙත්සම් අද අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, කුමුදුනි වික්‍රමසිංහ සහ සම්පත් විජේරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අතර, මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටින අමාත්‍ය මණ්ඩල සාමාජිකයන් ඇතුළු වග උත්තරකරුවන්ට නොතීසි ලැබී නොමැති බවයි එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කර සිටියේ.

මෙම නඩුව සලකා බැලීම සඳහා කඩිනම් දිනයක් ලබාදෙන ලෙස පෙත්සම්කාර පාර්ශ්වයක් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කණිෂ්ක විතාරණ සඳහන් කළ අතර, ඒ අනුව, වග උත්තරකරුවන්ට යළි නොතීසි නිකුත් කරන ලෙස විනිසුරු මඬුල්ල විසින් පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරුන්ට දැනුම් දුන්නා.

ඉන් අනතුරුව, මෙම පෙත්සම සලකා බැලීම සඳහා ඔක්තෝබර් මස 17 වැනිදා කැඳවන ලෙසයි විනිසුරු මඬුල්ල නියම කර ඇත්තේ.