ලංවිම ප්‍රතිව්‍යුහගත සමාගම් 04 න් කැමැති සමාගමකට ඉල්ලුම් කිරීමට සේවකයින්ට අද සිට අවස්ථා​ව

ලංකා විදුලිබල නව පනතේ ප්‍රතිපාදන මත, ලංකා විදුලිබල මණ්ඩලය සමාගම් 04 කට ප්‍රතිව්‍යුහගත කර තිබෙනවා.

ඒ අනුව, ජනන, බෙදාහැරීම්, සම්ප්‍රේෂණ සහ ජාතික පද්ධති යන ක්ෂේත්‍රවලට අදාළව එම සමාගම් පිහිටුවා ඇති බවයි බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ.

National System Operator (Private) Limited, National Transmission Network Service Provider (Private) Limited, Electricity Distribution Lanka (Private) Limited සහ Electricity Generation Lanka (Private) Limited ලෙස මෙම ආයතන වෙන් කර ඇති බවයි සඳහන් වන්නේ.

විදුලිබල මණ්ඩලයේ දැනට සිටින සේවකයන්ට, ඉහත සමාගම්වලින් තමන් කැමති සමාගමකට අනුයුක්ත වීමට ඉල්ලුම් කිරීමට අවශ්‍ය දැනුම්දීම මේ වන විටත් යොමු කර ඇති බවත්, ඒ සඳහා අද (27) සිට මාස දෙකක කාලයක් ලබාදී තිබෙන බවයි විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න සඳහන් කළේ. 

සේවකයන්ට සිය අභිමතය පරිදි රාජ්‍ය හිමිකාරීත්වය සහිත එම සමාගම්වලට ඇතුළත් විය හැකි අතර, එලෙස නව ආයතන සඳහා බැඳීමට අකමැති සේවකයන් වන්දි ක්‍රමයක් යටතේ විශ්‍රාම ගැන්වීමට සැලසුම් කර ඇති බවයි බලශක්ති අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.