රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (26) නියෝග කළා.
ඒ අනුව, සැකකරු රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හරින ලෙසත්, විමර්ශනවලට බලපෑම් වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීමෙන් වළකින ලෙසත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර නියෝග කර තිබෙනවා.
එමෙන්ම, අධිකරණයේ අවසරයකින් තොරව අධිකරණ භූමිය තුළ රූගත කිරීම් කළ පුද්ගලයන් පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙසත්, අධිකරණයට අපහාසාත්මක වන ආකාරයේ ප්‍රකාශයන් කළ පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශන පවත්වා ‘අධිකරණ ආයතනවලට අපහාස කිරීම පිළිබඳ පනත’ යටතේ පියවර ගන්නා ලෙසත් මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයාට නියෝග කළා.
ඊට අමතරව, සැකකාර රනිල් වික්‍රමසිංහ විසින් තමන්ට බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලයකින් ආරාධනයක් ලැබුණු බව සඳහන් කරමින් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන ලිපිය පිළිබඳව වැඩිදුරටත් විමර්ශනය කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයාට නියෝග කර තිබෙනවා.
අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්ගේ කරුණු දැක්වීම
නඩුකරය කැඳවූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙසේ පැවසුවා:
“ස්වාමීනි, පසුගිය නඩු දිනයේ මා කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේදී මට බාධා කිරීම් ඇති වුණා. මැදිහත් වීම් කළා. අධිකරණ කටයුතු වීඩියෝ කර සමාජ මාධ්‍යවලට මුදා හැර තිබුණා. මට මගේ කනිෂ්ඨ නීතිඥවරයා පවා ඉදිරියට ගෙන්න ගන්න බැරි වුණා. මේවා අනුමත කරන්න බෑ ස්වාමීනි. එදා නඩුව ඉවර වුණාට පස්සේ පිටත තිබූ කලබල නිසා පැයකට වැඩි කාලයක් අපිට අධිකරණය තුළ ඉන්න සිදු වුණා. ඔබ තුමියටත් එසේ වෙන්න ඇති. අපිට උසාවියට එන්න වෙන්නේ බයෙන් නම් ඒක භයානක තත්ත්වයක්. මෙවැනි ක්‍රියා අනුමත කරන්න බෑ. අධිකරණ භූමිය තුළ මැරකරණය සහ ත්‍රාඩකරණයට ඉඩ දෙන්න බෑ. ඒ නිසා යුක්තියේ දෙවඟන අතේ තිබෙන අසිපත භාවිත කරන ලෙස මා ඉල්ලා සිටිනවා.”
ඒ අවස්ථාවේදී දිලීප පීරිස් සහ සෙසු නීතිඥවරුන් අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති වූ අතර නැවතත් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්, ඉකුත් නඩු දිනයේ සැකකාර රනිල් වික්‍රමසිංහට බ්‍රිතාන්‍යයේ පිහිටි අදාළ විශ්වවිද්‍යාලයේ උපාධි ප්රදානෝත්සවය සඳහා සහභාගි වීම සඳහා පැමිණෙන ලෙස 2023 වසරේ සැප්තැම්බර් මස 01 වැනිදා එවා තිබූ ලිපියක් අධිකරණයට ඉදිරිපත් කළා.
එම ලිපිය සම්බන්ධයෙන් විමර්ශනයක් කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ඉකුත් දිනයේ අධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කරනු ලැබ තිබූ අතර, ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ පිළිබඳව පරීක්ෂණයක් සිදු කළ බව ඔහු සඳහන් කළා.
එම විමර්ශනවලදී අදාළ ලිපිය විදේශ කටයුතු අමාත්‍යාංශයේ, බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සහ ජනාධිපති කාර්යාලයේ පවතින ලිපි ගොනුවල නොමැති බවට කරුණු අනාවරණය වී තිබෙන බව අධිකරණයට කරුණු ඉදිරිපත් කෙරුණු අතර, එම ලිපිය පිළිබඳව එවකට ජනාධිපති ලේකම් සමන් ඒකනායක සහ පෞද්ගලික ලේකම් දැන නොසිටි බවත් පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි සඳහන් කළ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා, මෙය සාදන ලද ව්‍යාජ ලියවිල්ලක් යැයි තමා ප්‍රකාශ කළේ එම නිසා බවද සඳහන් කර තිබෙනවා.
මෙම නඩුකරය ‘පොදු දේපළ පනත’ යටතේ ඉදිරිපත් කර ඇති නිසා ඇප පනත අදාළ වන්නේ නැතැයි සඳහන් කළ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා, සැකකරුට ඇප ප්රදානය කරන්නේ නම් අසාමාන්‍ය කරුණු ඉදිරිපත් කළ යුතු බවත්, ඒ අනුව, නඩු විභාගය අවසන් වන තෙක් මෙම සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා.
විත්තියේ කරුණු දැක්වීම්
ඉන් අනතුරුව, සැකකාර රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ජනාධිපති නීතිඥ තිලක් මාරපන කරුණු දක්වමින් මෙසේ පැවසුවා:
“ස්වාමීනි, මේක මහා මෝඩ වැඩක්. ජනාධිපතිවරයාට ඕනෑම සංචාරයකට යන්න පුළුවන්. ඒ ගමන් වියදම් සියල්ල විගණන කොමිසමෙන් විගණනය වෙනවා. වරදක් තිබේ නම් සිදු කරන්නේ අධිභාරයක් පැනවීමයි. මේ වගේ මෝඩ වැඩ කරන්නේ නැහැ. මේ ක්‍රියාව නිසා ශ්‍රී ලංකාවට විශාල අපකීර්තියක් සිදු වී තිබෙනවා. ස්වාමීනි, හිටපු ජනාධිපතිවරයා සහභාගී වී තිබෙන්නේ එංගලන්තයේ සාමි මණ්ඩලයේ සිටින ඉතා වැදගත් ස්වරාජ් පෝල් නමැති සාමිවරයා උපකුලපති ලෙස කළ ඇරයුමකට අනුවයි. මේ සංචාරයට සහභාගී වී තිබෙන්නේ. මේ වගේ සාමිවරු ලංකාවට ඉතා වැදගත්. කොටි සංවිධානය තහනම් කිරීම, ජී.එස්.පී. සහනය ලබා ගැනීම වැනි කටයුතුවලට මෙම සාමිවරුන්ගේ සහය ඉතා වැදගත්. මේ වගේ ක්‍රියාවලින් එවැනි සාමිවරුන් ශ්‍රී ලංකාව සමග අමනාප වෙනවා. ඒක අපට පාඩුවක්. අවාසනාවකට මේ සාමිවරයා අවාසනාවන්ත ලෙස මිය ගියා. මේ හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට පත්වීම ආරංචි වී ඇති වූ කම්පනය නිසා ඔහු මිය ගියාද කියලා දන්නේ නැහැ.”
ඉන් අනතුරුව, රනිල් වික්‍රමසිංහට පවතින රෝගී තත්ත්වයන් පිළිබඳව ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න කරුණු ඉදිරිපත් කළා.
“ස්වාමීනි, මේ සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කළාට පස්සේ බන්ධනාගාරයේදී වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් කර තිබෙනවා. ඒ පරීක්ෂණ කළේ, අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන්න නෙවෙයි. ඒ පරීක්ෂණයෙන් පසුව අනාවරණය වුණේ මේ සැකකරු බන්ධනාගාර රෝහලේ තියාගන්න බෑ කියලා. ඒ අනුව ඔහු ජාතික රෝහලට ඇතුළත් කර මේ වන විට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා,” ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න ප්‍රකාශ කළා.
වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා, “ස්වාමීනි, සැකකරුගේ හෘද වස්තුවේ ධමනි තුනක් අවහිර වී තිබෙනවා. එම අවහිර වීම් හෘද වස්තුව ආසන්නයේ පිහිටා තිබීම නිසා ශල්‍යකර්මයක් කිරීමට නොහැකි වී තිබෙනවා. දියවැඩියාව උත්සන්න වී තිබෙනවා. අධික රුධිර පීඩනය උත්සන්න වී තිබෙනවා. වකුගඩුවල රෝගී තත්ත්වයන් පවතිනවා. ඔහුට අග්න්‍යාශයේ උඩ කොටසේ සංකූලතාවක් තිබෙනවා. ඒ වගේම නින්දේදී හුස්ම හිරවීමක් සිදු වෙනවා. විනාඩි දෙක තුනක් හුස්ම හිර වෙනවා. වසර හතක් පමණ මෙම සැකකරුට වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන් වෛද්‍යවරු තමයි මේ වාර්තා ඉදිරිපත් කර තිබෙන්නේ. ඔහු පැය 24ම වෛද්‍ය අධීක්ෂණය මත සිටිය යුතු පුද්ගලයෙක්. බන්ධනාගාරගත වීමෙන් ඔහුගේ මානසික ආතතිය වැඩි වෙනවා.”
මෙම කරුණු සුවිශේෂී කරුණු සේ සලකා සිය සේවාදායකයා ඇප මත මුදා හරින ලෙස ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න අධිකරණයෙන් ඉල්ලා සිටියා.
පසුව වැඩිදුරටත් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මෙසේ පැවසුවා:
“ස්වාමීනි, ස්වරාජ් පෝල් නමැති සාමිවරයා ලංකාවට විශාල සේවයක් කර තිබෙන බව ජනාධිපති නීතිඥතුමා සඳහන් කළා. මම කැමතියි ලංකාවට කරපු එක සේවයක් ගැන කියන්න කියලා. ඒක කියා ගන්න බෑ. ස්වාමීනි, මේක අවභාවිතාවක් නෙවෙයි. මහජන මුදල් කාබාසීනියා කිරීමක්. මෙම නඩුකරයට අදාළ සිද්ධිය පිළිබඳව ප්‍රකාශයක් සිදු කළ යූටියුබ්කරුවකු පිළිබඳවත් විමර්ශන කරන්න කියලා මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දීලා තිබෙනවා. ඒ අනුව, ඇප ඉල්ලීම සමග පසුගිය 22 වැනිදාට වඩා අලුත් සුවිශේෂී කරුණු කිසිවක් අද ඉදිරිපත් වෙලා නැහැ. මේ සැකකරුට ඇති රෝගී තත්ත්වයන් පිළිබඳව අධිකරණ වෛද්‍ය මණ්ඩලයක් හරහා පරීක්ෂා කර වාර්තාවක් කැඳවිය යුතුයි.”
ඒ අනුව, ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර සැකකරු නඩුව අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස දිලීප පීරිස් ඉල්ලා සිටියා.
මහේස්ත්‍රාත්වරියගේ තීන්දුව
දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමෙන් අනතුරුව නියෝගය ප්‍රකාශයට පත් කළ මහේස්ත්‍රාත්වරිය, මෙම සැකකරු මේ වන විට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවට බන්ධනාගාර නිලධාරීන් අධිකරණයට වාර්තා කර ඇති බවත්, මෙම සැකකරු සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරු හය දෙනෙකු විසින් වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවත් ප්‍රකාශ කළා.
එම වාර්තාවට අනුව, මෙම සැකකරු දෙවන මට්ටමේ දියවැඩියා රෝගී තත්ත්වයෙන් පසු වන බවත්, පාලනය කළ නොහැකි අධිරුධිර පීඩන තත්ත්වයකින් පසු වන බවත්, වකුගඩු රෝගී තත්ත්වයක් මෙන්ම නිදා ගැනීමට බාධා සහිත තත්ත්වයකින් පසු වන බවත් ඇය සඳහන් කළ අතර, ඒ අනුව, මෙම සැකකරු සමීප වෛද්‍ය අධීක්ෂණය යටතේ තැබිය යුතු පුද්ගලයකු බවත්, එසේ නොවුවහොත් ඔහුගේ ජීවිතයට අවදානමක් ඇති විය හැකි බවත් එම වාර්තාව මගින් පෙන්වා දී ඇති බව මහේස්ත්‍රාත්වරිය පැවසුවා.
ඒ අනුව, මෙම වෛද්‍ය වාර්තාවෙන් ඉදිරිපත් කර ඇති කරුණු අසාමාන්‍ය කරුණු සේ සලකා මෙම සැකකරු ඇප මත මුදා හැරීමට තීන්දු කරන බව මහේස්ත්‍රාත්වරිය සඳහන් කළ අතර, මෙම පැමිණිල්ල ඔක්තෝබර් මස 29 වැනිදා යළි කැඳවීමට නියම කෙරුණා.