රෝහල් 20 ක් සඳහා අති නවීන ගිලන් රථ 20 ක් ලබාදෙයි

අති නවීන තාක්ෂණයෙන් යුත් ගිලන් රථ 20 ක් රජයේ රෝහල් වෙත බෙදාදීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් අද දින (25) සිදු කෙ‍රුණා‍.

ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය දායකත්වය මත, සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ අනුග්‍රහයෙන්, මධ්‍යම රජයේ සහ පළාත් සභාව යටතේ පාලනය වන රෝ‍හල් සඳහා බෙදාදෙන ලද මෙම එක් ගිලන් රථයක වටිනාකම රුපියල් ලක්ෂ 257කට අධික වෙනවා.

මෙම නව ගිලන් රථ තුළ අති නවීන පහසුකම් රැසක් පවතින අතර, රෝගීයා වෙනත් රෝහලක් කරා ගෙනයන අතරතුර දී එමඟින් ප්‍රතිකාර රැසක් සිදු කිරීමේ හැකියාව පවතින බවයි සඳහන් වන්නේ.

ඇඹිලිපිටිය, නාවලපිටිය, මාතලේ, මීගමුව, ත්‍රිකුණාමලය, නුවරඑළිය, හලාවත, මොණරාගල, දඹුල්ල, හොරණ යන දිස්ත්‍රික් මහ රෝහල් දහය සඳහා ද, පොළොන්නරුව, මඩකළපුව, බදුල්ල, අනුරාධපුර යන ශික්ෂණ රෝහල් සඳහා ද පොතුවිල්, කන්තලේ, අක්කරෙයිපත්තුව, දෙහිඅත්තකන්ඩිය යන මූලික රෝහල් සඳහා ද, අම්පාර මහ රෝහලට සහ සීගිරිය රෝහලට ද මෙම අති නවීන ගිලන් රථ 20 බෙදා දී තිබෙන බව සඳහන්.