මෙරට පොල් ආදායම 2030දී ඩොලර් මිලියන 1500ක් දක්වා ඉහළ නංවනවා

මෙරට පොල් ආදායම වසර 2030 වනවිට ඩොලර් මිලියන 1500ක් දක්වා ඉහළ නැංවීමේ බලාපොරොත්තුවෙන් ‘කප්රුක් සවිය රටම සවිකරයි නිරතුරු’ වැඩසටහන ක්‍රියාත්මක කරන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය. ඒ මහතා මෙසේ පැවසුවේ ඊයේ (25) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවසීය.

“ප්‍රධාන වැවිලි භෝගයක් වන පොල් විශාල අපනයන ආදායමක් රටට උපයා දුන්නත් පහුගිය කාලයේ මෙරට පරිභෝජනයටවත් ප්‍රමාණවත් පොල් අස්වැන්නක් නැති වුණා. පොල් මිල ඉහළ ගොස් ජනතාව පීඩාවට පත්වුණා. පහුගිය කාලයේ පොල් වගා ක්ෂේත්‍රයට නිසි අවධානයක් යොමු නොකිරීම සහ නිසි සැලැස්මක් සහිතව පොල් වගාව ක්‍රියාත්මක නොකිරීම නිසා මේ තත්ත්වය ඇතිවූ බවයි අපි දකින්නේ. වත්මන් රජය පොල් සහ අනෙකුත් වැවිලි ක්ෂේත්‍රවලට උපායමාර්ගික සැලසුම් සකස් කර තිබෙනවා. ඒ අනුව යුනිඩෝ ආයතනයත් සමඟ එකතු වෙලා පොල් ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පස් අවුරුදු උපායමාර්ගික සැලැස්මක් සකස් කර තිබෙනවා.

2030 වනවිට මෙරට පොල් අස්වැන්න ඉහළ දමා පොල්වලින් උපයන ආදායම ඉහළ නංවන්න සැලසුම් කර තිබෙනවා. 2024 වසරේදී පොල් අස්වැන්න ගෙඩි මිලියන 2754යි. නමුත්, වාර්ෂිකව පොල් ගෙඩි මිලියන 3000ක් අවශ්‍ය වෙනවා. 2030 වසර වනවිට මේ ප්‍රමාණය ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ අනුව 2030 වනවිට පොල් අස්වැන්න මිලියන 4200 දක්වා ඉහළ නංවන සැලසුම් කරලා තිබෙනවා.

2024 වසරේ අවශ්‍ය පොල් ප්‍රමාණය නොතිබුණු නිසා කර්මාන්ත සහ පරිභෝජන අවශ්‍යතා වෙනුවෙන් පොල් ගෙඩි මිලියන 200ට ආසන්න ප්‍රමාණයක් කැබිනට් පත්‍රිකා දාලා ආනයනය කරන්න සිදු වුණා.

මේ නිසා ඩොලර් අපේ රටෙන් පිටතට ඇදී යනවා. පහුගිය කාලයේ ඇති වුණු ආර්ථික අර්බුදයත් සමඟ අපේ රටේ කර්මාන්ත ගණනවාක් අර්බුදයට ගියා. ඒ අතරේ පොල් කර්මාන්තත් වැහිලා ගියා. මේවා හරියට පණගන්වන්න නම්, නිසි සැලැස්මක් යටතේ වැඩ කළ යුතු වෙනවා. ඒ අනුව පස් අවුරුදු උපායමාර්ගික සැලැස්ම හැදුවා.

පොල් කර්මාන්තය ආශ්‍රයෙන් ඩොලර් මිලියන 854ක් ගිය වසරේ උපයලා තිබුණා. මෙය 2030 වනවිට ඩොලර් මිලියන 1500ක් දක්වා ඉහළ නංවන්න බලාපොරොත්තු වෙනවා. පහුගිය කාලේ පොල් ගහට නිසි සැලකීමක් සිදු වෙලා නැහැ. ජල සම්පාදනය, පොහොර යෙදීම නිවැරදිව සිදු වෙලා නැහැ. පළමු වැනි වතාවට ගොවීන්ට පොල් පොහොර සහනාධාරයක් ලබා දීලා තියෙනවා.

රුසියාවත් සමඟ සාකච්ඡා කරලා MOP පොහොර ලබාගත්තා. ඒ පොහොර පොල් පොහොර බවට පරිවර්තනය කරන්න තවත් වර්ග දෙකක් සමඟ කලවම් කළ යුතුයි. මේ වෙනකොට වෙළෙඳපොළේ රුපියල් 9500 ක් පමණ වෙන පොල් පොහොර මිටියක් රුපියල් 4000ක් වැනි සහනධාර මිලකට ලබා දෙනවා.

පහුගිය වසර හතරක පහක කාලයක් රජයේ පොල් වතුවලටවත් පොහොර දාලා නෑ. වෙනත් භෝගවල වගේ පොල්වලට පොහොර දැමූ සැණින් අස්වැන්න නොලැබෙන්නේ නැහැ. නිසි අස්වැන්නක් ලැබෙන්න වසර එකහමාරක් පමණ ගතවෙනවා. ඒ නිසා දැනට තිබෙන පොල් අර්බුදය තව ටික කාලයක් තිබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අඛණ්ඩව පොල් සඳහා පොහොර සහනාධාරය ලබාදෙන්න සැලසුම් කරලා තිබෙනවා. ඒ වගේම හොඳ ජල සම්පාදනයක් අවශ්‍යයි.

පොල් පර්යේෂණ ආයතනය කියන විදිහට පාර්ශ්ව එක ගහකින් පොල් 45 -55 අතර ප්‍රමාණයක් ලබාගන්න පුළුවන්. වෙනත් රටවල මීට වඩා වැඩි අස්වැන්නක් ගන්නවා. පොල් ගහට පොහොර, ජලය සපයමින්, රෝග මර්දනය කිරීමෙන් පසුව ශ්‍රී ලංකාවේ පොල්ගහක අස්වැන්න ගෙඩි 80 දක්වා ඉහළ ළංවන්න පුළුවන් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

මේ විශේෂ ව්‍යාපෘතිය “කප් තුරු සවිය” නමින් නම් කළා. ලෝක පොල් දිනය යෙදෙන සැප්තැම්බර් මස දෙක දින එය ආරම්භ කරනවා. ඒ සැමරීමත් සමඟ උතුරු පොල් ත්‍රිකෝණයේ කටයුතු නව අදියරයකින් ආරම්භ කරනවා. එදාට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් උතුරු පොල් ත්‍රිකෝණයේ ආරම්භය පුදුකුඩුඉරිප්පුවලින් අරඹනවා. 2025 වසරේ උතුරේ අක්කර 16,000ක පොල් වගා කරනවා. යාපනය, මුලතිව්, මන්නාරම් ත්‍රිකෝණය උතුරු පොල් ත්‍රිකෝණය ලෙස සංවර්ධනය කරනවා.

2026 අක්කර 16,000ක් හා 2027 අක්කර 8,000ක් වශයෙන් උතුරේ පොල් වගා කරනවා. 2027 වනවිට උතුරේ පොල් අක්කර 50,000ක වගා භූමියක් බවට පරිවර්තනය කරන්න හැකි වෙනවා. අනෙක් ප්‍රදේශවලත් අක්කර 20,000ක් පොල් වගා කරන්න සැලසුම් කර තිබෙනවා. පොල් පැළයක් රුපියල් 150ක සහනාධාර ක්‍රමයක් යටතේ ලබාදෙනවා.

ගෙවතු පොල් වගා වැඩසටහනක් ලෙස එක පවුලකට පොල් පැළ දෙක බැගින් පොල් පැළ ලක්ෂ 5ක් බෙදා දෙනවා. පොල් වගාව ඉලක්ක සහගතව ප්‍රතිපත්තියක් යටතේ ගෙනියන්නයි සූදානම්.

ලබන වසරේදී වැවිලි භෝග මඟින් ඩොලර් බිලියන 6ක ආදායමක් උපයා දෙන්න බලාපොරොත්තු වෙනවා. පොල් සහ රබර් අත්හැර දැමූ වතු පුනරුත්ථාපන වැඩසටහනක් ලබන වසරේ ආරම්භ කරනවා. පොල් කර්මාන්තය ඇතුළේ තැඹිලි වගාව නංවන්නත් අදාළ පියවර ගන්නවා.

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ද මෙහිදී අදහස් දැක්වීය. පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති සුනිමල් ජයකොඩි මහතා, පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ශාන්ත රණතුංග මහතා, පොල් පර්යේෂණ මණ්ඩලයේ සභාපති අජිත් ජයවීර මහතා මේ අවස්ථාවට සහභාගි වූහ.