හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත්කිරීමේ පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අවසන් කෙරේ

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම් විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (25) අවසන් කර තිබෙනවා.

ඒ අනුව, එහි ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ සිය රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත යොමු කරන බවයි ශ්‍රේෂ්ඨාධිකරණය  නිවේදනය කර ඇත්තේ.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ සම්පත් අබේකෝන් යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

මෙම නඩුකරයට අදාළ ලිඛිත දේශනා ඇත්නම්, ඒවා ලබන බ්‍රහස්පතින්දා දහවල් 12.00 පෙර ගොනු කරන ලෙස විනිසුරු මඩුල්ල විසින් පාර්ශවකරුවන්ට නියම කර ඇති අතර, ඉන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කථානායකවරයාට යොමු කරන බවයි විනිසුරු මඩුල්ල සඳහන් කර සිටියේ.