හිටපු ජනපති රනිල්ගේ සුවදුක් විමසීමට විපක්ෂ නායක සජිත් රෝහලට පැමිණෙයි

රක්ෂිත බන්ධනාගාරගත කර, පසුව රෝහල්ගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් විමසා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (25) උදෑසන පැමිණ තිබෙනවා.

හිටපු ජනාධිපතිවරයා රෝහල්ගත කර ඇති නිසා ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය ගැන විමසීමට තමා පැමිණි බවත්, රෝහල් කාර්ය මණ්ඩලයේ සියළු දෙනා හිටපු ජනාධිපතිවරයාට ලබාදිය හැකි උපරිම සෞඛ්‍ය රැකවරණය ලබාදෙන බවයි විපක්ෂ නායකවරයා එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ.

නීතිය ක්‍රියාත්මක වීමේදී සාධාරණව ක්‍රියාත්මක විය යුතු බවද, එය එසේ ක්‍රියාත්මක වන බවට රටේ ජනතාවට පිළිගැනීමක් තිබිය යුතු බවද ඔහු සඳහන් කළා.

නීතියේ ආධිපත්‍යය හා යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය යම් පුද්ගලයින් තමන් අතට ගෙන ඇති බවද, එම ක්‍රියාවලීන් පෞද්ගලීකරණයට ලක් වී ඇති බවට හැ‍ඟෙන බවද, එයට තමන් විරුද්ධ වන බවද විපක්ෂ නායකවරයා එහිදී ප්‍රකාශ කළා‍.

හෙට දිනයේදී අධිකරණය ඉතාමත් ස්වාධීනව හා අපක්ෂපාතීව ගත යුතු තීන්දු තීරණ ගනු ඇතැයි බලාපොරොත්තු වන බවත්, කුමන හේතුවකට හෝ තමන් අධිකරණ ක්‍රියාවලියට ඇඟිලි ගැසීමක් සිදු නොකරන බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් සඳහන් කර සිටියේ.