කොළඹ DIG නිදන් හෑරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් CID අත්අඩංගුවට

කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති උදිත ලියනගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ නිදන් හෑරීමේ සිදුවීමක් සම්බන්ධව අත්අඩංගුවට ගෙන සිටින ඔහුගේ බිරිඳ සම්බන්ධව සිදු කෙරෙන විමර්ශන කටයුතු සඳහා එම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.

ශ්‍රාවස්තිපුර, තිඹිරිකඩවල ප්‍රදේශයේ දේවාලයක් ආසන්නයේ පිහිටි ඉඩමක නිධන් හාරමින් සිටි බව කියන නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ බිරියක ඇතුළු 08 දෙනෙකු අනුරාධපුර පොලිසිය මගින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබුණු අතර, එහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් මුදාහරින ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයා වැටලීම සිදුකළ පොලිස් නිලධාරීන්ට දුරකථනයෙන් බලපෑම් කිරීමේ සිදුවීමක් සම්බන්ධව වාර්තා වී තිබෙනවා.

එම කරුණු අනාවරණය කර ගැනීම සඳහා සියලු සැකකරුවන්ගේ දුරකථන අංකවලට අදාළ විශ්ලේෂණ වාර්තා නොපමාව පොලීසියට ලබා දෙන ලෙසද අනුරාධපුර වැඩබලන මහෙස්ත්‍රාත් චන්දන වීරකෝන් සියලු දුරකථන සමාගම්වලට මීට පෙර නියෝග කර තිබුණා.