මෙම සිදුවීම, ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම්වල හරය මත එල්ල කරන ලද සැලසුම් සහගත ප්‍රහාරයක් – චන්ද්‍රිකා

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම වටා ඇති විශේෂ තත්ත්වයන්, රටේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවල ශක්තිය පිළිබඳ බරපතල කනස්සල්ලක් ඇති කරන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසනවා.

ඒ අනුව, මෙම සිදුවීම, මෙරට ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම්වල හරය මත එල්ල කරන ලද සැලසුම් සහගත ප්‍රහාරයක් ලෙසයි අද (24) පැවැති විශේෂ මාධ්‍ය හමුවට නිවේදනයක් යොමු කරමින් හිටපු ජනාධිපතිනිය සඳහන් කර තිබෙන්නේ.

මෙමගින් ඇතිවන ප්‍රතිවිපාක, එක් පුද්ගලයකුගේ හෝ දේශපාලන කණ්ඩායමක ඉරණමට වඩා බොහෝ සෙයින් ඔබ්බට යන බවත්, එය සමස්ත සමාජයේම අයිතිවාසිකම් සඳහා අනතුරක් බවත් ඇය පෙන්වා දී තිබෙනවා.

සියලුම දේශපාලන නායකයන් මෙවැනි ක්‍රියාවලට විරුද්ධ විය යුතු බවත්, මෙම ක්‍රියාමාර්ගවලට තම බලවත් විරෝධය පළ කරන බවත් සිය නිවේදනය මඟින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.