සේවක අයිතිවාසිකම්, ඉල්ලීම් දිනාගන්න වර්ජන කරන එක දැන් ආණ්ඩුවේ අයට වැරදි විදියට පෙනෙන බවත්, ඇමරිකාව පැනවූ තීරු බදු ප්‍රමාණය යම් තරමකට අඩු කර ගැනීමට ආණ්ඩුව සමත්වීම හොඳ විදිහට දකින බවත් ඔහු පවසනවා. ඒ වගේම වත්මන් විදුලිබල ඇමතිවරයාට එරෙහිව විපක්ෂය ගොඩනගන චෝදනාවට එකඟ වෙමින් මෙවර වෙබ් පිටුවේ දේශපාලන කතිකාවට එක්වන්නේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකයි.
ඔබ සහ ජී. එල් පීරිස් ඇතුළු කණ්ඩායමක් එකතු වෙලා ආණ්ඩුවේ වැඩවලට විකල්පයක් හදමින් මොකක්ද මේ කරන්නේ ?
ආණ්ඩුව පෙරලන්න යන වැඩක් කරන්න නෙමෙයි අපේ සූදානම. නමුත් සංවිධාන රාශියක එකමුතුවක් තිබෙනවා. මේ සඳහා යම් පිරිසක් ඒකරාශී වෙලා ඉන්නවා. ඒකට දේශපාලන පක්ෂ මෙන්ම පලපුරුදු දේශපාලනඥයින් සමග විවිධ සිවිල් සංවිධාන කිහිපයකුත් එකතුවෙලා තියෙනවා. මේ අය ක්‍රමවත් වැඩසටහනකට එකතු වෙනවා.
මේ කරන්න යන්නේ විපක්ෂයක් විදිහට එකතුවෙලා ආණ්ඩුව පෙරලන්න නෙවේද ?
නෑ කොහෙත්ම නෑ, අපි ආණ්ඩුව පෙරලන්න යන්නේ නෑ. මේක දේශපාලනික පුනරුදයක ආරම්භයක් වෙයි.
ඇමරිකාව ශ්‍රී ලංකාවටත් තීරු බදු පැනෙව්වා. මේ ආණ්ඩුව මැදිහත්වෙලා යම් ප්‍රමාණයකට තීරු බදු අඩු කරගන්න සමත් වුණා. ඒ අනුව ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය දකින්නෙ කොහොමද ?
ඇමරිකාව පැනවූ බදු ප්‍රමාණය යම් තරමකට අඩු කර ගැනීමට ආණ්ඩුව සමත්වීම හොඳ විදිහට දකිනවා. රට රටවල් එක්ක ගනුදෙනු කරද්දී මේ ක්‍රමය බැරිවෙයි. ව්‍යාපාර එක්ක බැලුවම පවතින්නේ තරගකාරීත්වයක්. ඒ නිසා මේ කාරණය සංකීර්ණයි. ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පළමුවැනි ලිපියෙන් දන්වලා තියෙනවා චීනයෙන් ගේන බඩු සම්බන්ධයෙන්. එවැනි අවස්ථාවල අතිරේක වශයෙන් තීරු බදු පැනවීමක් ගැන කියලා තියෙනවා. දෙවනුව ජූලි 30 වැනිදා නිකුත් කළ නිවේදනයෙන් කරුණු දක්වනවා.

විදුලි බිල පහුගිය කාලේ ඉහළ අගයක තිබිලා යම් තරමකට අඩු වුණා. නමුත් නැවත බිල දැන් වැඩිවෙලා තියෙන්නෙ. ඒ සම්බන්ධයෙන් ජනතාවට මීට වඩා සහනයක් දෙන්න බැරිද ?
ඉහළ අගයක තිබුණු විදුලි බිල අඩු වුණේ ආණ්ඩුවේ මැදිහත්වීමකින් නොවේ. ඒක සිදු කළේ මහජන උපයෝගීතා කොමිසම. 2023 සහ 2024 අවුරුදුවලදී විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 150ක පමණ ලාභයක් ලැබුවා. ඒ විදිහට විදුලිබල මණ්ඩලය ලබපු ලාභය ඉහළයි. ඒ විදිහට විශාල ආදායමක් ලැබුවා. මේ අතරේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් කියලා තිබුණේ මහජනතාවට බදු සහන දෙන්න එපා කියලා. ඒ අවස්ථාවේදී ජනපතිවරයා බැලුවේ විදුලි බල මණ්ඩලයේ ලාභයද මහජනතාවගේ වාසියද කියල තේරෙනවා.
පහුගිය දවසක උතුරේ පැවති හර්තාල් ව්‍යාපාරය දකින්නේ කොහොමද ?
මේ වගේ සිද්ධියකට හර්තාල් ව්‍යාපාරයක් කරන එක මේ මොහොතේ ගැලපෙන්නෑ. උතුර නියෝජනය කරන දමිළ දේශපාලන පක්ෂ දෙකක් මේ අවස්ථාවේ දෙවිදියකට හැසිරෙනවා. ඉදිරියේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිය පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒකත් එක අරමුණක් විදියට දකින්න පුළුවන්. ඒ වගේම එක දේශපාලන පක්ෂයක් ඔවුන්ගේ නැතිවුණු බලය සහ තත්ත්වය යළි ගොඩනගන්න මේක අවස්ථාවක් කරගෙන. අනිත් පාර්ශ්වය මේ ඔස්සේ ආණ්ඩුවට පහර ගැසීමට උත්සාහ ගන්නවා.
මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම ගැන වගේම හිටපු ජනපතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදුවක් ගැන ලොකු කතාවක් තියෙනවා ?
මන්ත්‍රීවරයෙකුට ලැබෙන විශ්‍රාම වැටුප වෙන්නේ රුපියල් 54000යි. මටත් එහෙමයි. මන්ත්‍රීවරයෙක් කියන්නෙත් රජයේ සේවකයෙක්. ඒකයි විශ්‍රාම වැටුපක් දෙන්නේ. ඒ ලැබෙන මුදලට වඩා මන්ත්‍රීවරයෙක් සහ ඇමතිවරයෙක් වශයෙන් කටයුතු කරද්දී රටට බිලියන ගාණක ආදායම් මම හොයලා දීලා තියෙනවා. නාගරික සංවර්ධන අධිකාරිය යටතේ කොළඹ නගරයේ කුණු ප්‍රශ්නය විසඳුවා. ඒ වගේම කොළඹ ගංවතුර ගැටලුවටත් විසඳුම් දුන්නා. ගොඩක් අය බෑ කියපු දේවල් කරලා පෙන්නුවා. නමුත් මේ ආණ්ඩුව එහෙම අයටත් හොරු කියලා කියනවා. රාජ්‍ය සේවකයින්ට වගේම විශ්‍රාමිකයින්ට ලැබිය යුතු දේවල් ලබාදිය යුතුයි. මම අභියෝග කරනවා පුළුවන්නම් එක ධ්‍යස්ථානයකට පාර්ලිමේන්තුවේ 225 කැඳවලා රහසිගත ඡන්දයක් තියන්න කියලා. එතකොට එතන ආණ්ඩුවේ 159ත් ඉන්නවා. එහෙම වුනොත් 159න් බහුතරයකුත් මේකට කැමති වෙන්නෑ. මැතිවරණයට ඉදිරිපත් වෙන්න කලින් සෑම කෙනෙක්ම ආදායම් වියදම් විස්තරයක් දීලා තියෙනවා. ඒ නිසා මන්ත්‍රීවරුන්ගේ ආදායම් තත්ත්වය දන්නවා. හොර බොරු කරන්න දෙයක් නෑ. මෙවැනි යෝජනා ගෙනෙන ඉදිරිපත් කරන පක්ෂවලට වගේ හැමෝටම යටි බිම් ගත ව්‍යාපාර හෝ බිලියන ගණන් මුදල් වත්කම් නෑ. එහෙම තියෙන අයට මුදල් ප්‍රශ්නත් නෑ. ඒක හැමෝටම පොදු නෑ. හිටපු ජනපතිවරුන්ට කියලා අසීමාන්තිකව විඳින්න දෙයක් නෑ. ඔවුන් රැක බලා ගැනීම වගකීම. ඔවුන්ට ව්‍යාපාර නෑ වරදාන වරප්‍රසාද ලොකුවට දීලත් නෑ , වත්මන් ජනපතිවරයාට එවැනි ගැටලුවකුත් නැතුව ඇති මොකද ඒ පක්ෂවලට යටි බිම් ගත ව්‍යාපාර බිලියන ගණනින් මුදල් ආදායම් එහෙම තියෙනවා. ඒ නිසා මේ වගේ ජනප්‍රිය දේවල් කියලා බොරුවට මිනිස්සු චූන් කරනවා.
දිවයින පුරා ක්‍රියාත්මක තැපැල් වර්ජනයට වෘත්තීය සමිති රැසක් එකතුවෙලා ඒ වගේම වෙනත් පාර්ශ්වත් මැදිහත්වෙලා වැඩ වර්ජන දියත් කරමින් ඉන්නවා.
සේවක අයිතිවාසිකම්, ඉල්ලීම් දිනාගන්න වර්ජන කරන එක දැන් ආණ්ඩුවේ අයටත් වැරදි විදියට පේනවා. නමුත් පහුගිය ආණ්ඩු කාලේ මෙවැනි වර්ජන මෙහෙයවන්න මූලික වුණු අය හිටියා. වසන්ත සමරසිංහ ලාල්කාන්ත මේ වගේ අය අද ඇමතිවරු වෙලා පාර්ලිමේන්තුවේනේ. දැන් ඒ අය ඒ වර්ජන කරන අයට අවස්ථාව දෙන්න කැමැති නෑ. දැන් ඒ අය 1981 ජේ. ආර් ජයවර්ධන මහත්මයා කියපු දේ පෙන්නලා දෙනවා.
වත්මන් විදුලිබල ඇමතිවරයාට ඇයි මේ විපක්ෂයෙන් චෝදනා එල්ල වෙන්නේ ?
වත්මන් බලශක්ති ඇමතිවරයාට එරෙහි චෝදනාව 2015 වසර තෙක් අතීතයට යනවා. ඒ සමයේ සිදුවූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙනුයි චෝදනා එල්ල වෙන්නේ. ඒ කාලයේ ඔහු ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන සහ ආනයන අංශයේ කළමනාකරු වශයෙන් කටයුතු කර තිබෙනවා. ඔහු එම තනතුරට පත් කර තිබෙන්නේ 2005 වසරේදී. ඒ එම වසරේදී අනුර කුමාර දිසානායක කෘෂිකර්ම අමාත්‍ය ධුරයට පත්වීමෙන් පසුවයි. එදා කුමාර ජයකොඩි ඒ තනතුරට පත් කළේ වත්මන් ජනපතිවරයා. එවකට ඔහු කෘෂිකර්ම අමාත්‍යවරයා වශයෙන් හිටියේ. ඒ නිසා ඔහුත් මේ සම්බන්ධයෙන් වගකිවයුතුයි. ඒ වගේම අතිවිශාල වටිනාකමකින් යුතු ගල් අඟුරු ටෙන්ඩරයක් කැඳවීමට නියමිතයි. ඒක පොහොර සංස්ථාවේ දී ගනුදෙනුවට වඩා විශාල වටිනාකමක් තියෙනවා. ඒ නිසා කලින් පාරට වඩා මෙවර ප්‍රසම්පාදන ක්‍රියාවලිය වටිනාකමත් වැඩියි. ඒක බරපතලයි ඒකයි විපක්ෂ කණ්ඩායම් මේ පුද්ගලයා අදාළ තනතුරේ ඉන්නවාට විරුද්ධව කතා කරන්නේ.
ඔබතුමා හිටපු බලශක්තිය සම්බන්ධ ඇමතිවරයෙක්. ලංකාවේ පුනර්ජනනීය බලශක්තිය සම්බන්ධයෙන් දකින්නේ කොහොමද?
වහල මත සවි කරන මෙගාවොට 1200ක සූර්ය පැනල ව්‍යාපෘති ආරම්භ කළේ මමයි. ඒ සමයේ සුළං බලාගාර ව්‍යාපෘති ආරම්භ කළා. ඒ වගේම සූර්ය බලාගාර ව්‍යාපෘති ආරම්භ කළා. CFL වගේ අඩු වියදම් පිරිමැසුම්දායි විදුලි බල්බ හඳුන්වා දුන්නා. ඩීසල් සහ ගල් අඟුරු බලාගාරවල පැවති මාෆියාව නැවැත්තුවා. ඒවාගෙන් අද රටේ ජනතාව ප්‍රතිලාභ ලබනවා. ජාත්‍යන්තර වශයෙන් සහයෝගය ලබාගෙන විශාල වැඩ කොටසක් පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් කරන්න මම කටයුතු කළා. නමුත් ඊට පස්සේ මේ වෙද්දිත් එවැනි ව්‍යාපෘතියක් කරන බවක් දකින්න නෑ.