තමන් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ හමුවූ බවත්, ඔහු හොඳින් සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
බන්ධනාගාර රෝහලට ඇතුළත් කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් විමසා බැලීම සඳහා අද (23) උදෑසන මැගසින් බන්ධනාගාරය වෙත ගොස් ආපසු පැමිණීමේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර සිටියා.
හිටපු ජනපති රනිල්ගේ සෞඛ්‍ය තත්ත්වය ද ආරක්ෂා කළ යුතු බවත්, ඒ සදහා අවශ්‍ය ඖෂධ ලබාදීම සිදුකරන බවට තමා විශ්වාස කරන බවයි ඔහු පවසා සිටියේ.
එසේම, නීතිය ක්‍රියාත්මක වීම මෙන්ම, ජනතාව ඒ පිළිබඳව ඇති කරගන්නා අවබෝධය යන කරුණු දෙකම ඉතා වැදගත් වන බවද, සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු ඒ ගැන අනාවැකි පළ කිරීමෙන්, අදාළ ක්‍රියාවලිය තුළ බරපතළ තත්ත්වයක් හටගෙන ඇති බවද ඔහු පෙන්වා දෙනවා.
නීතියේ සඳහන් නොවන තුන්වන පාර්ශ්වයකට නීතියේ අවසන් ක්‍රියාවලිය පුරෝකථනය කළ නොහැකි බවත්, එය බොහෝ භයානක තත්ත්වයක් බවත්, සමාජ මාධ්‍ය තුළ එක් පුද්ගලයෙකු විසින් නීතිය ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් අනාවැකි පලකිරීම තුළ අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවත් විපක්ෂ නායකවරයා පවසා සිටියා.
රටේ උත්තරීතර නීතිය ක්‍රියාත්මක වීම විනිවිදභාවයෙන් යුක්තව, නිර්-දේශපාලනිකරණයකට ලක්කර, එය සිදුවිය ආකාරයටම සිදුවිය යුතු බවද, එසේ නොමැතිව තුන්වෙනි පාර්ශ්වයන් විසින් ‘මෙහෙම තමා සිද්ධ වෙන්නේ’ යනුවෙන් පැවසීම නීතිවිරෝධී බවද, ඒ ගැන වහාම පියවර ගැනීම වැදගත් බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් පවසා සිටියා.