ගාසා තීරයේ සියලුම ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම සඳහා සාකච්ඡාවකට ඊශ්‍රායලය සූදානම් වෙයි

ගාසා තීරයේ දැනට ඉතිරි සියලුම ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම සහ “ඊශ්‍රායලයට පිළිගත හැකි” කොන්දේසි මත ගාසා තීරයේ යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් වූ සාකච්ඡා ආරම්භ කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු කැමැත්ත පළ කර ඇත.

කෙසේ නමුත් පුළුල් ජාත්‍යන්තර සහ ඊශ්‍රායල විරෝධය නොතකා, භූමියේ උතුරේ ගාසා නගරයට දැවැන්ත ප්‍රහාරයක් සඳහා වන සැලසුම් තම කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇති බව නෙතන්යාහු බ්‍රහස්පතින්දා රාත්‍රියේ ඊශ්‍රායල හමුදාවන්ට පවසා තිබේ.

ඒ අනුව ගාසා තීරය අල්ලා ගැනීමේ මෙහෙයුම් ඊශ්‍රායලය මේවන විට ආරම්භ කර ඇත.

කටාර් රාජ්‍යයට අනුව, ගාසා තීරයේ ඉතිරි ප්‍රාණ ඇපකරුවන්ගෙන් අඩක් නිදහස් කරනු ලබන දින 60 ක සටන් විරාමයක් සඳහා කටාර් සහ ඊජිප්තු මැදිහත්කරුවන් විසින් සඳුදා සකස් කරන ලද යෝජනාවකට හමාස් සංවිධානය විසින් එකඟතාව පළ කර ඇත.