තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක වෙනවා, ඒකට පොලිස්පතිද, හිටපු ජනාධිපතිද කියලා අදාළ නැහැ – මහජන ආරක්ෂක ඇමති

වර්තමාන ආණ්ඩුව නීතියේ ආධිපත්‍ය තහවුරු කරමින් සිටින බවත්, තරාතිරම නොබලා නීතිය එක ලෙස ක්‍රියාත්මක වන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.

ඒ සඳහා පොලිස්පති ද, නියෝජ්‍ය පොලිස්පති ද, මන්ත්‍රීවරයෙක් හෝ ඇමතිවරයෙක් ද, හිටපු ජනාධිපති ද යන්න අදාළ නොවන බවත්, කවුරුන් හෝ වරදක් කර ඇත්නම් නීතිය ඉදිරියට ඔවුන්ව ගෙන ඒමට පසුබට නොවන බවයි ඔහු සඳහන් කළේ. 

මේ වන විට සිදුවෙමින් ඇත්තේ එලෙස වැරදි කරන ලද පිරිස් තරාතිරම නොබලා නීතිය ඉදිරියට ගෙන ඒම බවද අද (22) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ආණ්ඩුව රට භාර ගන්නා අවස්ථාවේදී ආර්ථික මෙන්ම සමාජ, දේශපාලනික වශයෙන් ද රට බංකොලොත් වී තිබුණු බවද, සමාජ පරිහානියට ලක් වෙමින් තිබූ රටක් ජාතික ජන බලවේගය භාරගත් බවද, මාස 8-10 ක් වැනි කෙටි කාල සීමාවක් තුළ ජනාධිපති අනුර කුමාර දිසානායක ආර්ථික ස්ථාවරත්වයක් රට තුළ ඇති කර ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

සුබසාධන හා සමාජ රැකවරණය මෙන්ම ආර්ථික ස්ථාවරත්වය ළඟා කර ගැනීම ආණ්ඩුව ලැබූ ජයග්‍රහණයක් බවත්, මේ වන විට වින්දිතයන්ට සාධාරණයක් ඉටු විය යුතු බවත්, සාධාරණත්වය මත පදනම් වූ රාජ්‍ය පාලනයක් ජාතික ජන බලවේගය ඇති කරමින් සිටින බවත්, සෑම වින්දිතයකුටම සාධාරණත්වය හා යුක්තිය ඉටු කරන බවට රජයක් ලෙස සහතිකය ලබා දෙන බවයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.