ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතියට එරෙහිව විමල් වීරවංශගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

මෙරට පුරවැසියන් සඳහා ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ඉන්දියාව සමඟ ඇති කරගෙන තිබෙන අවබෝධතා ගිවිසුම බලරහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා, හිටපු අමාත්‍ය විමල් වීරවංශ විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

එහි වගඋත්තරකරුවන් ලෙස ඩිජිටල් ආර්ථික අමාත්‍යවරයා වන ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය හා අමාත්‍ය මණ්ඩලය ඇතුළු 31 දෙනකු නම් කර ඇති බවයි සඳහන් වන්නේ.

ශ්‍රී ලංකා රජය විසින් ඉන්දියාව සමඟ මෙරට පුරවැසියන්ගේ ඩිජිටල් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට අදාළ ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමකට එළඹ තිබෙන බවත්, මීට අදාළව පසුගිය ජනවාරි 27 සහ ජුනි 02 වැනිදා අමාත්‍ය මණ්ඩල තීන්දු දෙකක් ලබාගෙන තිබෙන බවත්, මහජනතාව හෝ පාර්ලිමේන්තුව දැනුවත් කිරීමකින් තොරව මෙම අමාත්‍ය මණ්ඩල තීරණ ගෙන තිබෙන බවත් ඔහු සිය පෙත්සම මගින් පෙන්වා දී තිබෙනවා.

මෙම අවබෝධතා ගිවිසුම තුළින් ශ්‍රී ලංකා පුරවැසියන්ගේ ජෛව දත්ත ඇතුළු කරුණු ඉන්දියාව අතට පත්වන බවද, ඒ තුළින් ඉන්දියාවට ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමට අවකාශ සැලසෙන බවද, දේශීය වශයෙන් ඩිජිටල් හැඳුනුම්පතක් නිකුත් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙලක් මෙරට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් සකස් කරමින් සිටියදී, එම කටයුත්ත රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැනිව ඉන්දියානු සමාගමක් වෙත පැවරීමට රජය විසින් ගනු ලබන තීරණය අත්තනෝමතික මෙන්ම නීතියට පටහැනි බවද එහි පෙන්වා දී තිබෙනවා.

ඉන්දියාව සමඟ ඇති කරගත් මෙම අවබෝධතා ගිවිසුම සහ ඊට අදාළ කැබිනට් තීන්දු බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත්, මෙම හැඳුනුම්පත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් හිටපු අමාත්‍ය විමල් වීරවංශ වැඩිදුරටත් සිය පෙත්සම මගින් ඉල්ලා තිබෙනවා.