පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (21) රැස්වීමට නියමිතයි.

ඒ අනුව, අද පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර, පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22 හි 01 සිට 06 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර තිබෙනවා.

පෙ.ව. 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර, පෙ.ව. 11.00 – 11.30 කාලය ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර ඇති බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා රේගු ආඥා පනත යටතේ අංක 2434/02 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති යෝජනා සම්මතය, නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ අංක 2434/04 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති නියමය, මුදල් පනත යටතේ අංක 2434/05 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති නියෝගය සහ ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනත යටතේ අංක 2430/13 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති නියෝග අනුමත කිරීමට නියමිතව තිබෙනවා.

ඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා රජය විසින් ගෙනෙනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතයි.