හිටපු ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු 06 දෙනකුට අධි චෝදනා භාරදෙයි

හිටපු ඛනිජතෙල් අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු 06 දෙනෙකුට විවෘත අධිකරණය හමුවේ අධිචෝදනා භාරදීමෙන් පසු, ඔවුන් ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහාධිකරණය අද (21) නියෝග කර තිබෙනවා.

ඒ අනුව‍‍, එම විත්තිකරුවන් රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.

2014 දෙසැම්බර් 26 සහ 2015 ජනවාරි අතර කාලය තුළ දී, නිසි ක්‍රියාමාර්ග අනුගමනය නොකරමින්, ගංවතුර සහනාධාර සඳහා රුපියල් 6,146,110 ක මුදලක් වැය කරමින්, එම මුදල් සාපරාධී, සාවද්‍ය පරිහරණය ඇතුළු අධි චෝදනා 05 ක් යටතේ හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ එවකට සභාපතිවරයා ඇතුළු විත්තිකරුවන් 06 දෙනෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.