මෝටර් රථයකින් යමින් සිටි පුද්ගලයෙකු ඉලක්ක කර ගෙන ඊයේ (21) පස්වරුවේ ටී 56 ගිනි අවියකින් සිදුකළ වෙඩි තැබීමකින් එම පුද්ගලයා මෝටර් රථය තුළදීම මියගොස් ඇති බව බණ්ඩාරගම පොලිසිය පවසයි.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ ලලිත් කුමාර කෝදා ගොඩ නමැති පුද්ගලයෙකු බවත්, එම තැනැත්තා පාතාල කල්ලි නායක මාකදුරේ මදුෂ් නැමැත්තා සමග විදෙස් රටකදී අත්අඩංගුවට පත් බන්ධනාගාර නිළධාරියෙකු බවට සැකකරන බවත් පොලිසිය සඳහන් කරයි.
වෙඩි ප්‍රහාරය එල්ල කිරීමෙන් පසු තුවක්කුකරුවන් පානදුර දෙසට පලා ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතයිද පොලිසිය සඳහන් කරයි.
මියගිය පුද්ගලයා පානදුර දෙස සිට බණ්ඩාරගම දෙසට මෝටර් රථයෙන් යමින් සිටියදී බොල්ගොඩ පාලම පසුකරනවාත් සමග මෙම වෙඩි වරුසාව යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු එල්ලකර ඇති බවට මෙතෙක් කල පරීක්ෂණවලදී හෙලිව ඇතිබව පොලිසිය කීය.
T 56 උණ්ඩ 25 කට අධික ප්‍රමාණයක් මෝටර් රථය ආසන්නයේ බිම වැටී තිබෙන බවද පොලිසිය සඳහන් කරයි.
පානදුර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් පරීක්ෂණ සිදු කළ අතර, විශේෂ කාර්ය බලකා සෙබළුන්ද ප්‍රදේශයේ ආරක්ෂාවට කැඳවා ඇති අයුරු දැකගත හැකි විය.
වෙඩි ප්‍රහාරය එල්ල වීමත් සමඟින් පානදුර රත්නපුර මාර්ගයේ බොල්ගොඩ පාලම ආසන්නයේ දැඩි වාහන තදබදයක් ඇතිව තිබූ අතර, රථවාහන අංශ නිළධාරින් එය යථා තත්වයට පත් කරන අයුරු දැකගත හැකිවිය.
කළුතර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව් ජී පද්මිනී මහත්මිය, පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන් ද සිල්වා යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි, බණ්ඩාරගම ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්න අමරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වති.
