ගම්පහ මහ රෝහලේ පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ගේ වර්ජනයක්

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය විසින් හෙට (21) බස්නාහිර පළාත තුළ සිදු කිරීමට නියමිතව තිබුණු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය, අද (20) උදෑසන ගම්පහ මහ රෝහලේදී ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව, අද උදෑසන ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂවරයා විසින් පරිපූරක වෛද්‍ය වෘත්තීය නිලධාරීන්ට අත්සන් තැබීම සිදු නොකරන ලෙසට උපදෙස් ලබා දෙමින් නිකුත් කර තිබුණු ලිපියක් හේතුවෙන්, පරිපූරක වෛද්‍ය සේවාවේ සියලු නිලධාරීන් ගම්පහ රෝහලේ සියලු රාජකාරී කටයුතුවලින් ඉවත් වූ බවයි පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ ප්‍රධාන ලේකම් චානක ධර්මවික්‍රම සඳහන් කළේ.

අදාළ ගැටලුව සම්බන්ධයෙන් නිසි පිළිතුරක් ලබා දීමට ගම්පහ මහ රෝහලේ අධ්‍යක්ෂවරයා මේ වන විටත් අපොහොසත් වී ඇති බවද ඔහු ප්‍රකාශ කළා.

‘ස්ථාන මාරු නියෝග 2024’ ක්‍රියාත්මක කිරීමට පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය නියෝග කිරීමත් සමග, පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් හෙට සිට බස්නාහිර පළාත් සභාවට අයත් රෝහල් 31 ක වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව මීට පෙර තීරණය කර තිබුණා.