DIG බිරිඳ ඇතුළු පිරිසක් නිධන් හෑරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අධිකරණයෙන් නියෝගයක්

නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ බිරිඳ ඇතුළු සැකකරුවන් පිරිසක් අනුරාධපුර, ශ්‍රාවස්තිපුර, තිඹිරිගස්කඩවල ප්‍රදේශයේදී නිධන් වස්තු ලබා ගැනීමේ අරමුණින් අනවසරයෙන් සිදු කළ කැණීම් කටයුතු සම්බන්ධයෙන් කඩිනම් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් පොලිසියට නියෝග කර තිබෙනවා.

අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී, කැණීම සිදු කරන ලද, දේවාලයක් අසල ඇති ගල් තලාවක් සහිත ඉඩම පුරාවිද්‍යා වටිනාකමක් සහිත, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් භූමියක්ද යන්න පරීක්ෂා කර බලා, ඊට අදාළ පුරාවිද්‍යා වාර්තාව නොපමාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මුදාහරින ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයකු යැයි කියන පුද්ගලයකු පොලිස් නිලධාරීන්ට දුරකථනයෙන් බලපෑම් කර ඇත්දැයි අනාවරණය කර ගැනීමට, සියලු සැකකරුවන්ගේ දුරකථන අංකවලට අදාළ විශ්ලේෂණ වාර්තා නොපමාව පොලිසියට ලබා දෙන ලෙසද අනුරාධපුර වැඩබලන මහේස්ත්‍රාත් චන්දන වීරකෝන් සියලු දුරකථන සමාගම්වලට මීට පෙර නියෝග කර තිබුණා.

අධිකරණය හමුවට ඉදිරිපත් කළ නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ බිරියක ඇතුළු සැකකරුවන් මේ මස 26 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.