ජනාධිපති ලෙස කටයුතු කළ සමයේදී එක්සත් රාජධානියේ කළ සංචාරයක් සම්බන්ධයෙන් පොදු දේපළ පනතේ විධිවිධාන යටතේ කෙරෙන විමර්ශනයකට අදාළව ප්රකාශයක් ලබාගැනීමට හිටපු ජනපති රනිල් වික්රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට අනිද්දා (22) කැඳවා තිබේ. මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය 04 වැනිදා හිටපු ජනපතිවරයාගේ පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා මහත්මියගෙන්ද 05 වැනිදා හිටපු ජනපති ලේකම් සමන් ඒකනායක මහතාගෙන් ද ප්‍රශ්න කර ප්‍රකාශ සටහන්කර ගෙන තිබිණි.
රනිල් වික්රමසිංහ මහතා ජනාධිපතිවරයාව සිටි 2022 සහ 2024 කාලය තුළ විදෙස් සංචාර 23කට සහභාගිවී තිබේ. ඒ 2022 වසරේ 04ක්, 2023 වසරේ 14 සහ 2024 වසරේ 05 ලෙසිනි. මෙම විදෙස් සංචාර සඳහා වැයකර ඇතැයි පැවසෙන රජයේ මුදල් ප්රමාණය රුපියල් පනස්තුන් කෝටියක් පමණ වේ.
මෙම සංචාර අතරින් විමර්ශනයට ලක්වන්නේ 2023 වසරේ ජුනි 17 වැනිදා හිටපු ජනාධිපතිවරයා විසින් කළ එක්සත් රාජධානියේ සංචාරයයි. මෙම සංචාරය සඳහා රුපියල් කෝටි 02කට ආසන්න රජයේ මුදලක් වැය කර ඇති බව සඳහන්ය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් පවත්වනු ලබන්නේ මෙම සංචාරය නිල සංචාරයක්ද පෞද්ගලික සංචාරයක්ද යන්න ගැනය. මෙම සංචාරය පෞද්ගලික සංචාරයක් බවත් රජයේ මුදල් පෞද්ගලික සංචාරයක් සඳහා වැයකර ඇති බවටත් ලැබී ඇති පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භකර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය ජුනි 24 වැනිදා මෙම විමර්ශනය සම්බන්ධයෙන් කොටුව මහේස්ත්රාත් අධිකරණයටද කරුණු වාර්තාකර තිබිණි.
ගයාන් කුමාර වීරසිංහ