පෑලියගොඩ, මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය ආසන්නයේ පිහිටි ඥානරතන මාවතේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම ඉබ්බගෙවත්තේ විනෝදන් ඝාතනයට පලිගැනීමක් ලෙස සිදු කර ඇති බවට පොලිසිය සැක පළ කරනවා.
වෙඩික්කරුවන් සොයා පොලිස් කණ්ඩායම් 03ක් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක කරන අතර ඒ සදහා සීසීටීවි දර්ශන ඔස්සේ ද විමර්ශන ආරම්භ කර තිබෙනවා.
ඊයේ උදෑසන මෙලෙස ජීවිතක්ෂයට පත්වුණේ, 41 හැවිරිදි අයියප්පන් ප්‍රභූ නැමැති මෝදර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් වන අතර ඔහු පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ සේවය කරන අයෙක්.
එමෙන්ම සිද්ධිය වන අවස්ථාවේදී පාපැදියකින් එම ස්ථානයෙන් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ද වෙඩි ප්‍රහාරයට ලක්වූ අතර ඔහු තවදුරටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා.
මෙම තුවාලකරු පෑලියගොඩ, නෙල්ලිගහ වත්ත යන ප්‍රදේශවල පදිංචිකරුවෙක්.
මෙම වෙඩි තැබීම පලනි රිමෝෂන් සහ පූකුඩුකන්නා යන අපරාධකරුවන් අතර කලක සිට පවතින මත්ද්‍රව්‍ය ආරවුලක් හේතුවෙන් පලනි රිමෝෂන්ගේ පාර්ශවය විසින් සිදු කර ඇති බවටයි සැක කරන්නේ.
එමෙන්ම පලනි රිමෝෂන්ගේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රබල නායකයෙකු ලෙස කටයුතු කරන්නේ කංජිපානි ඉම්රාන් බව ද සඳහන්.
මෙම වෙඩි තැබීමත් සමග මෙම වසරේ සිදුවූ වෙඩි තැබීම් සංඛ්‍යාව 83 දක්වා ඉහළ ගියා.
එහිදී 44 දෙනෙකු මියගොස් ඇති අතර 50 දෙනෙකු තුවාල ලැබුවා.
මේ අතර, අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ සිදුකළ සෝදිසියකදී රැදවියෙකු ළග තිබී සයනයිට් කුප්පියක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.
බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කළේ, කුඩු සලිඳුගේ ගෝලයකු වන තරිඳු මධුසංක නැමැත්තා සතුව තිබී එය සොයාගත් බවයි.
පසුව සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ‘කොමාන්ඩෝ කවිෂ්ක නැමැත්තා ඝාතනය කිරීම සඳහා මෙම සයනයිට් බන්ධනාගාරය තුළට ගෙනවිත් ඇති බවටයි.