මීගොඩ මුතුහේන වත්ත නදුන් උයන ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට ඉකුත් (13) දා සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ වෙඩික්කරු ජීව අත් බෝම්බයක් සමඟ අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පන්නිපිටිය බ්‍රාහ්මණගම පදිංචි “කම්බුලා” නමැති (38) හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය කියයි.
මෙම පුද්ගලයා මීට දින කිහිපයකට පෙර මහරගම නගරය හරහා යතුරු පැදියකින් යමින් සිටියදී මහරගම මාර්ග බාධකයක රැදී සිටි නිලධාරීන් යතුරුපැදිය පරීක්ෂා කිරිම සඳහා සංඥා කර තිබේ.
එහෙත් යතුරු පැදිය නොනවත්වා ධාවනය කිරීම නිසා ඒ පසුපස හඹා ගොස් අත්අඩංගුවට ගැනීමට යාමේදී එහි පැදිකරු පලාගොස් තිබූ අතර පසුව එහි පසු පැදිකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී පලා ගිය සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරමක් පවත්වාගෙන යන කම්බුලා නැමැත්තකු බවට තොරතුරක් අනාවරණය වී තිබේ.
පසුව ඔහු සම්බන්ධයෙන් දිගින් දිගටම විමර්ශනය කිරීමේදී පලාගිය සැකකරු ඔහුගේ නිවසේ රැඳී සිටින බවට ලද තොරතුරකට අනුව නිලධාරි කණ්ඩායමක් නිවස වටලා සැකකරු අත්අඩංගුවට ගෙන නිවස පරීක්ෂා කිරීමේදී එහි සඟවා තිබී අංක FRAG S FG 87, දරණ ජීව අත් බෝම්බයක් හමුවූ බව පොලිසිය කියයි.
පසුව අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ඉකුත් 13 දා රාත්‍රී මීගොඩ මුතුහේනවත්ත නදුන් උයන ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටට යතුරුපැදියකින් පැමිණ වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරු බවට තොරතුරු අනාවරණය වූ බව පැවසේ.
දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කෙහෙලබද්දර “පත්මේ” නමැත්තාගේ මෙහෙයවීමෙන් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට මූලික විමර්ශන බලදී අනාවරණය වී තිබේ.
ඔහු යුද හමුදාවෙන් ඉවත් වූ අයකු බවත් ඔහුට එරෙහිව කහතුඩුව මත්තේගොඩ හෝමාගම කොට්ටාව ඇතුළු පොලිස් වසම් කිහිපයක සිදුකළ මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිට ඇපමත නිදහස් සිටින්නෙකු බවත් මත්ද්‍රව්‍ය නඩුවක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව හෝමාගම අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර ඇති බවත් පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු අද (19) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට රදවා ගැනීමේ නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හර්ෂ ද සිල්වා මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රසාද් බණ්ඩාර මහතාගේ මෙහෙයවීමෙන් උ.පො.ප ප්‍රභාත් , පො.සැ (51930) පුෂ්පකුමාර පො.කො (92521) සමරසිංහ (100223) ජයසුන්දර (101633) එරංග (102924) කවිදු ඇතුළු නිලධාරීහු වැටලීම සිදුකොට ඉදිරි පරීක්ෂණ පවත්වති.