ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි අතර තීරණාත්මක හමුව ධවල මන්දිරයේදී සිදු වී තිබෙනවා.
ඒ අනුව, එම සාකච්ඡාව පැවැත්වෙන අතරතුර, ඇමරිකානු ජනාධිපතිවරයා රුසියානු ජනාධිපතිවරයා සමඟ විනාඩි 40ක පමණ දුරකථන ඇමතුමක් ලබාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එහිදී, ඇමරිකාවේ මැදිහත්වීමෙන් රුසියානු සහ යුක්රේන ජනාධිපතිවරුන් අතර හමුවක් සංවිධානය කිරීමට තීරණය කර ඇති අතර, ඒ සඳහා යුක්රේන ජනාධිපතිවරයා ද සිය කැමැත්ත පළ කර ඇති බවයි සඳහන් වන්නේ.
ආරක්ෂක සහතික ඇතුළු සංවේදී කරුණු සම්බන්ධයෙන් අද දින ඉතා හොඳ සාකච්ඡා පැවති බවත්, පුටින් හමුවීමට තමන් සූදානම් බවත් සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් යුක්රේන ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.
රුසියානු – යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින් පසුගියදා රුසියානු ජනාධිපති පුටින් සහ ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් අතර ද හමුවක් පැවති අතර, ඉන් අනතුරුව මෙම සාකච්ඡාව පවත්වා තිබෙනවා.