පර්චස් 50 ක කුඹුරු ඉඩමක් කුඹුරු ඉඩමක් නොවන බවට සහතික කර ලිපියක් ලබාදීමට රුපියල් ලක්ෂ 3ක අල්ලස් මුදලක් ඉල්ලා ලබාගත් බව කියන කටුනායක ආඬිඅම්බලම ගොවිජන සේවා කාර්යාලයේ ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය නිලධාරීවරයා සහ කෘෂිකර්ම පරීක්‍ෂණ සහකාර නිලධාරිවරයා හෙට (19) දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය අද (18) නියෝග නිකුත් කළා.
මෙම සිද්ධියට අදාළ නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝග නිකුත් කළා.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග නිකුත් වූයේ කටුනායක ආඬිඅම්බලම ගොවිඡන සේවා කාර්යාලයේ සුජීව ලාල් කුමාර සහ වසන්ත කුමාර යන අයයි.
සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දැක්වමින් අල්ලස් කොමිසම සඳහන් කර සිටියේ, සිද්ධියට අදාළ සැකකරුවන්, පැමිණිලිකරුට අයත් පර්චස් පනහක කුඹුරු ඉඩම කුඹුරු ඉඩමක් නොවන බවට සහතික කර ලිපියක් ලබාදීමට රුපියල් ලක්ෂ තුනක අල්ලසක් ඉල්ලා ලබාගත් අවස්ථාවේ උපාය දූතයෙකු මගින් අත්අඩංගුවට ගත් බවයි.