බදුල්ල ශික්ෂණ රෝහලේ වත්මන් ක්‍රියාකාරිත්වය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ අවධාන‍යට

ඌව පළාතේ මිලියන 1.5 කට අධික ජනතාවකට සහ අවට ප්‍රදේශ රැසක ජනතාවට තෘතීයික මට්ටමේ විශේෂඥ සත්කාර ලබාදෙමින් රෝගී කේන්ද්‍රීය සෞඛ්‍ය සේවාවක් සපයන බදුල්ල ශික්ෂණ රෝහලේ වත්මන් රෝගී ප්‍රතිකාර සේවාවන්, ඉදිරි සංවර්ධන සැලසුම් සහ ‌භෞතික හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ කරුණු සොයා බැලීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පසුගිය දා කටයුතු කළේය.
මෙම සාකච්ඡාවේ දී බදුල්ල ශික්ෂණ රෝහලේ වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම (Annual Action Plan) – 2026 පිළිබඳවත්, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ අළුතින් ආරම්භ කළ වෛද්‍ය පීඨයේ සිසුන්ට සායනික පුහුණුව සඳහා අවශ්‍ය සියලුම පහසුකම් සහිතව ඉදි‍වෙන මහාචාර්ය ඒකක සහිත දස මහල් ‍ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු සහ එහි ක්‍රියාත්මක කිරීමට යෝජිත ඒකක පිළිබඳවත්, දැනට රෝහලේ ක්‍රියාත්මක සහ ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති ප්‍රාග්ධන ව්‍යාපෘති පිළිබඳවත්, ප්‍රසම්පාදන කටයුතු, මානව සම්පත් සංවර්ධනය, පුහුණු වැඩසටහන්, හදිසි ප්‍රතිකාර සේවාවන්, දැනට ක්‍රියාත්මක සායන, වෛද්‍ය උපකරණ සහ අවශ්‍යතා, ඖෂධ, ඩිජිටල්කරණ කටයුතු මෙන්ම රෝහල සතු ඉඩම් නැවත අත්පත් කර ගැනීමේ කටයුතුවල වත්මන් තත්ත්වය ඇතුළු කරුණු රැසක් පිළිබඳව මෙන්ම දැනට රෝහලේ පවතින ප්‍රධාන ගැටලු කිහිපයක් පිළිබඳව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාව දැනුවත් කෙරිණි.
ඉදිරි කාල වකවානුව තුළ බදුල්ල ශික්ෂණ රෝහල නවීනත ම තාක්ෂණික ක්‍රමවේදයන් හී දියුණුවක් සහිතව රෝගී ආරක්ෂණ මුලපිරීම්, පුළුල් පරාසයක ඉහළ ගුණාත්මක විශේෂිත සෞඛ්‍ය සේවාවන් සැපයීම සිදු කරනු ලබන තෘතීයික සත්කාර සපයන රෝහලක් ලෙස වඩාත් ශක්තිමත් කිරීම අරමුණු කර ගනිමින් බදුල්ල ශික්ෂණ රෝහල පිළිබඳව මෙම කරුණු සොයා බැලීමට කටයුතු කළ බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාවට මෙන් ම අවට මොණරාගල, මහියංගනය, නුවරඑළිය වැනි දිස්ත්‍රික්කවල ජනතාවට ද විශිෂ්ට සෞඛ්‍ය සේවාවක් සපයනු ලබන බදුල්ල ශික්ෂණ රෝහලේ ප්‍රතිසංවිධාන කටයුතු සහ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබදව අවධානය යොමු කරන බවත්, දැනට ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කිරීමට ද පියවර ගන්නා බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය. රෝහලට අවශ්‍ය මානව සම්පත සහ ‌භෞතික සම්පත් ද ලබාදෙමින් විශිෂ්ට සෞඛ්‍ය සේවාවක් සපයනු ලබන නවීන තාක්ෂණික පහසුකම් වලින් යුත් රෝගී සත්කාර සපයනු ලබන රෝහලක් ලෙස ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරිමට අවධානය යොමු කරන බව ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.