පාර්ලිමේන්තුව හෙට රැස්වෙයි

පාර්ලිමේන්තුව හෙට (19) රැස්වීමට නියමිතයි.

ඒ අනුව, හෙට පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර, පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 01 සිට 06 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර තිබෙනවා.

පෙ.ව. 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර, පෙ.ව. 11.00 – 11.30 කාලය ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර ඇති බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පනත් කෙටුම්පත (දෙවැනි වර කියවීම), රාජ්‍ය ණය කළමනාකරණ පනත යටතේ අංක 2443/14 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති නියෝග, සහ විදේශ විනිමය පනත යටතේ අංක 2441/14 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති නියමයක් විවාදයට ගැනීමට නියමිත බවයි සඳහන් වන්නේ.

එසේම, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකරට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳව කථානායකවරයා සිය මතය හෙට පාර්ලිමේන්තුවට ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවද වැඩිදුරටත් සඳහන් වෙනවා.