අල්ලස් ගත් ඔක්කම්පිටිය පොලිස් ස්ථානාධිපතිගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

වැලි ව්‍යාපාරිකයකුගෙන් රුපියල් 40,000 ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඔක්කම්පිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

අදාළ සැකකරු අගෝස්තු 25 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.

අද (18) අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී, සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, සිය සේවාදායකයාගේ දියණිය මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටින බවත්, එය විශේෂ කරුණක් ලෙස සලකා සැකකරු ඇප මත මුදා හරින ලෙස ඉල්ලා සිටි බවත් සඳහන්. 

එහෙත්, මෙම සැකකරු සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත් සිදු කරන බැවින් එම ඇප ඉල්ලීමට විරුද්ධ වන බවයි අල්ලස් කොමිසම සඳහන් කර තිබෙන්නේ.

දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අතර, ඔහු ලබන 25 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.