නිධන් හෑරීමක් සම්බන්ධයෙන් සැකපිට නියෝජ්‍ය පොලිස්පති බිරිඳ අත්අඩංගුවට ගන්නා විට නියෝජ්‍ය පොලිස්පතිවරයා රැඳී සිටියේ කොහේද යන්න සම්බන්ධයෙන් පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
එසේම මෙම සිදුවීම මෙම නියෝජ්‍ය පොලිස්පතිවරයා කල්තියා දැන සිටියේ දැයි සොයා තවත් විමර්ශනයක් පැවැත්වෙන බවද, පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් සඳහන් කළා.
එහිදී දුරකථන ජාල විශ්ලේෂණයක් මගින් ඒ සම්බන්ධයෙන් කරුණු සොයා බලන බවද හෙතෙම සඳහන් කරා.
සිය බිරිඳ අනුරාධපුර පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව, උතුරු මැද පළාතේ ඉහළ පොලිස් නිලධාරියෙකුට ඇමතුමක් දෙමින් සිය බිරිඳ නිදහස් කරන ලෙසට නියෝජ්‍ය පොලිස්පතිවරයා බලපෑමක්ද කර ඇති බව සඳහන්.
එම දුරකථන ඇමතුම ලබාදෙන විට නියෝජ්‍ය පොලිස්පතිවරයා සිටි ස්ථානය දුරකථන කුළුණු විශ්ලේෂණය ඔස්සේ අනාවරණය කර ගැනීමට හැකිවනු ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
සිය බිරිඳ නිධන් හෑරීමකට නොපැමිණි බවත්, ඇය පූජාවක් සඳහා පැමිණි බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා තර්ක කර ඇති බවද පොලිස් ආරංචිමාර්ග අනාවරණය කළා.
අනුරාධපුරයේ දේවාලයක පූජාවක් සඳහා පැමිණියේ නම් එම දේවාලයේ කපුවෙකුගේ සහාය නොගෙන පිටස්තරින් කපුවෙක් රැගෙන පැමිණීමත්, එකිනෙකා නොහඳුනන විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් මෙම කණ්ඩායමට එක්ව සිටීමත් සැකයට තුඩුදෙන බවයි පොලිසිය සඳහන් කළේ.
මේ වන විට නීතියේ හිඩැස්වලින් රිංගමින් සිය බිරිඳ බේරා ගැනීමට නියෝජ්‍ය පොලිස්පතිවරයා දැඩි උත්සහයක නිරතවන බවද පොලිස් ආරංචිමාර්ග අනාවරණය කළා.
මෙම නියෝජ්‍ය පොලිස්පතිවරයා, තමාව නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ලෙස හඳුන්වා දුන්නද, තවමත් ස්ථිර නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් නොවන බවත්, වැඩ ආවරණය කරන නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් බවත් පොලිස් තොරතුරු සඳහන් කළා.
දැනට ඔහු සේවයේ නිරතව සිටින්නේ ද නියෝජ්‍ය පොලිස්පතිවරුන් අතර ජ්‍යෙෂ්ඨ නිිලධාරියෙක් සේවයේ නිරතව සිටිය යුතු ස්ථානයකයි.
මෙම නියෝජ්‍ය පොලිස්පතිවරයා ඊයේ (14) උදෑසන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය වැඩ භාරගැනීමේ උත්සව අවස්ථාවේද රැඳී සිට ඇති බව පොලිස් මූලස්ථාන තොරතුරු සඳහන් කළා.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිෂන් සභාවේද අවධානය යොමුව තිබෙනවා.
පොලිස්පතිවරයා මගින් මෙම සිදුවීම සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් ලබාගැනීමට අපේක්ෂා කරන බව ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජිකයෙක් සඳහන් කළා.
එම වාර්තාව පදනම්කරගෙන නියෝජ්‍ය පොලිස්පතිවරයා තවදුරටත් ඔහු සේවයේ නිරතව සිටින ස්ථානයේ තබාගැනීම සුදුසුද නැද්ද යන්න ගැන තීරණයක් ගන්නා බව ද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළා.