චීනයට, ඉන්දියාවට දඬුවම් බදු දැන්ම පනවන්නේ නෑ – අමෙරිකාව

රුසියාවෙන් තෙල් මිලදී ගන්නා රටවලට වහාම ද්විතියික බදු පැනවීමේ තීරණයක් නොගන්නා බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

මේ අනුව චීනය, ඉන්දියාව වැනි රටවලට තර්ජනය කරමින් තිබූ අධික බදු පැනවීම වහාම සිදුනොවීම යම් සහනයක්වනු ඇති නමුත් සති දෙක තුනකින් මෙම බදු පැනවීම සිදුවනු ඇති බවයි ට්‍රම්ප් අවධාරණය කරන්නේ.

රුසියාවෙන් තෙල් මිලදී ගැනීම නිසා ලබන ආදායම්, යුක්රේන යුද්ධයට යටකරන බවත් එම යුද මැෂිමෙන් මියයන පුද්ගලයින්ගේ සංඛ්‍යාව පිළිබඳ පාරිභෝගික රටවල් තැකීමක් නොකරන බැවින් මෙම ද්විතියික බදු පනවන බවට ට්‍රම්ප් පසුගියදා චෝදනා කර තිබුණා.

එපමණකින් නොනැවතී ට්‍රම්ප් පාලනය විසින් තවදුරටත් අනතුරු අඟවා තිබුණේ රුසියාවට ද සම්බාධක පනවන බවයි.

කෙසේවෙතත් ඊයේ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් ඇලස්කාවේ පැවති සාම සාකච්ඡාවේ යම් ප්‍රගතියක් අත්කරගැනීම හේතුවෙන් නව තීරණය ගෙන ඇති බවටයි සැළකෙන්නේ.

ට්‍රම්ප් මීට පෙර පවසා තිබුණේ මෙම සාකච්ඡාව සාර්ථක නොවුණහොත් වහාම චීනයට, ඉන්දියාව ඇතුළු රුසියාවෙන් මහා පරිමාණයෙන් තෙල් මිලදී ගන්නා රටවලින් තම රටට ආනයනය කරනු ලබන භාණ්ඩවලට විශාල ලෙස ද්විතියික බදු පනවන බවටයි.

රුසියානු තෙල් අඛණ්ඩව ආනයනය කිරීමේ වරද පටවමින් අමෙරිකානු ජනාධිපතිවරයා පසුගිය සතියේ ඉන්දීය භාණ්ඩ සඳහා අමතර 25% ක තීරු බදු පැනවූවා.

මේ අනුව ලබන 27 වැනිදා සිට ඉන්දීය භාණ්ඩ සඳහා 50%ක බද්දක් ට්‍රම්ප් විසින් පනවා තිබෙනවා.

චීනය අඛණ්ඩව තෙල් මිලදී ගැනීම සිදුකරන්නේ නම් එමගින් අමෙරිකාවට ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා 100%ක පමණ බද්දක් පැනවෙනු ඇති බවට ද අනතුරු ඇඟවීම් සිදුකෙරුණත් මෙතෙක් එවැනි තීරණයක් ගෙන තිබුණේ නෑ.

යුක්රේනයේ යුද්ධය විසඳීමට හෝ නතර කිරීමට එකඟතාවයක් ඇති කර ගැනීමට ට්‍රම්ප් සහ පුටින් අපොහොසත් වූ නමුත් සාකච්ඡාවල ප්‍රගතියක් සිදුවූ බව දෙපාර්ශ්වයම ඇලස්කාවේ පැවති සාකච්ඡාවෙන් පසු පැවසුවා.

කෙසේවෙතත් දෙරට අතර එකඟතාවක් ඇති නොවීම නිසා චීනයට එරෙහිව බදු පැනවීම පිළිබඳ සලකා බලනවාදැයි මාධ්‍යවේදියෙක් විමසූ අවස්ථාවේදී ට්‍රම්ප් පැවසුවේ ‘අද සිදු වූ දේ නිසා, මම හිතන්නේ මම ඒ ගැන සිතිය යුතු නැහැ. දැන්, මට සති දෙකකින් හෝ සති තුනකින්ඒ ගැන හිතන්න වේවි. නමුත් අපි මේ මොහොතේ ඒ ගැන සිතිය යුතු නෑ. මම හිතන්නේ, ඔබ දන්නවනේ, රැස්වීම ඉතා හොඳින් සිදු වුණා” යනුවෙන්.

චීනය සහ ඉන්දියාව යනු රුසියාවෙන් බොරතෙල් මිලදී ගන්නා දැවැන්තම පාරිභෝගික රටවල්.