නවගමුව පත්තිනි දේවාලයේ පෙරහර නිසා විශේෂ රථ වාහන සැලැස්මක්

නවගමුව පොලිස් වසමේ නවගමුව පුරාණ මහා පත්තිනි දේවාලය විසින් වාර්ෂිකව පවත්වනු ලබන ඇසල පෙරහර හෙට (16) රාත්‍රී 09.00 සිට අළුයම 02.30 දක්වාත් අනිද්දා (17) උදෑසන 06.00 සිට දහවල් 02.00 දක්වා අවිස්සාවේල්ල කොළඹ පරණ මාර්ගයේ වීථි සංචාරය කිරීමට නියමිතයි.

මෙම පෙරහර ගමන් කරන කාලය තුළදී අවිස්සාවේල්ල කොළඹ පරණ පාර වෙලේ හන්දියෙන් හා රණාල හන්දියෙන් වසා තැබීමට කටයුතු කරන බැවින් එම කාලය තුළ මෙම මාර්ගය භාවිත කරන මහජනතාව සහ රියදුරන්ට පහත විකල්ප මාර්ගයන් භාවිතා කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඒ අනුව, කොළඹ දෙස සිට හංවැල්ල දෙසට ගමන් කරන රථ වාහන කඩුවෙල වෙලේ හන්දියෙන් දකුණට හැරී වදුරමුල්ල, ඔරුවල හන්දිය, හඹරකඩ, ජය මාවත ඔස්සේ රණාල දක්වා ගමන් කළ හැකියි.

හංවැල්ල දෙස සිට කොළඹ දෙසට ගමන් කරන රථ වාහන රණාල හන්දියෙන් වමට හැරී ජය මාවත ඔස්සේ හඹරකඩ, ඔරුවල හන්දිය හරහා වදුරමුල්ල හන්දිය දක්වා ගමන් කිරීමට හැකි බවයි පොලිසිය සඳහන් කරන්නේ.