පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය වැඩ භාරගනියි

නව පොලිස්පතිවරයා ලෙස පත්වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ ප්‍රියන්ත වීරසූරිය, සිය ධුරයේ වැඩ භාරගෙන තිබෙනවා.

අද (14) උදෑසන පොලිස් මූලස්ථානයේදී ඔහු මෙලෙස වැඩ භාරගෙන ඇති බවයි සඳහන් වන්නේ.

1969 පෙබරවාරි 9 වැනිදා දොඩංගොඩදී උපත ලැබූ ප්‍රියන්ත වීරසූරිය, 1988 දී කොස්තාපල්වරයකු ලෙස පොලිස් දෙපාර්තමේන්තුවට එක්වී තිබෙනවා.

පසුව, 1992 දී උප පොලිස් පරීක්ෂක ධුරයටත්, 2007 දී පොලිස් අධිකාරී ධුරයටත්, 2012 සිට 2016 දක්වා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු ලෙසත් ඔහු කටයුතු කර ඇති බවයි සඳහන් වන්නේ.

2016 දී නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස්වීම් ලැබූ ඔහු, 2020 දී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස්වීම් ලැබුවා.

වැඩ තහනම් කළ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමත් සමඟ, 2024 සැප්තැම්බර් 26 වැනිදා සිට වැඩබලන පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසූරිය පත් කරනු ලැබුවා.

ඒ අනුව, පොලිස් කොස්තාපල්වරයකු ලෙස සේවයට එක්වී පොලිස්පති ධුරය දක්වා ගිය පළමු පොලිස්පතිවරයා ලෙස ඔහු ඉතිහාසයට එක්වෙනවා.