කංසා වගාව සඳහා අවසරය ලබාදී ඇත්තේ අපනයනය සඳහා පමණයි – නලින්ද ජයතිස්ස

කංසා වගාව සඳහා අනුමැතිය ලබාදීම සිදුකර ඇත්තේ 2024 අප්‍රේල් මාසයේදී එවකට සිටි දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යවරයා විසින් බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

ඒ අනු​ව ආයෝජකයන්ට අවසර ලබා දී ඇත්තේ රජයේ නියාමනයට යටත්ව, ඉතා දැඩි ආරක්ෂක ක්‍රමවේද යටතේ වගා ක​ර එහි සියලුම කොටස් අපනයනය කිරීම සඳහා පමණක් බවයි ඔහු පවසා සිටියේ. 

මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ ආයුර්වේද දෙපාර්තමේන්තුව එක්ව ක්‍රියාත්මක කරමින් සිටින බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙලෙස කංසා වගාව සඳහා ඉඩම් ලබාදීමේදී ආයෝජන කලාපවල ඇති ඉඩම් පමණක් ලබා දෙන බවද, මෙය දැඩි නියාමන තත්ත්වයක් යටතේ සිදු කළ යුතු බැවින් එලෙස සිදු කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

කංසා වගාව සඳහා ආයෝජකයන්ට ආයුර්වේද දෙපාර්තමේන්තුවෙන් බලපත්‍රය ලබා දෙන්නේ මාස 06 ක කාලයක් සඳහා පමණක් බවයි අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් සඳහන් කළේ.