බස් රථවලට AI තාක්ෂණය යෙදවීමට අවධානය

රාජ්‍ය සහ පෞද්ගලික බස් රථවල ගමන් කරන මගීන්ගේ ආරක්ෂාව සඳහා AI තාක්ෂණය යොදා ගැනීමට කටයුතු කරන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.

AI තාක්ෂණය භාවිත කර රියදුරන්ට විඩාව, නිදිමත හෝ ඇස් පියවෙන ගතිය ඇති වුවහොත්, මෙන්ම රියදුරු රැකියාව කරන අතරතුර නොකළ යුතු වෙනත් දේ කළහොත්, ඒ පිළිබඳව AI තාක්ෂණයෙන් සමන්විත පද්ධතියක් මඟින් මතක් කිරීම සිදු කරන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

ශ්‍රී ලංකාව තුළ සමාගම් වසර ගණනාවක් පුරා මේවා භාවිත කළ ද, පොදු ප්‍රවාහන ක්ෂේත්‍රය සඳහා මේවා යොදාගෙන නොමැති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ඒ අනුව, ඔවුන් සතු පරිපාලන දැනුම, තාක්ෂණය සහ උපකරණ ලබාදීමට එම සමාගම් කැමැත්තෙන් ඉදිරිපත් වූ බවත්, එම උපකරණ 40 ක් ලංගම සහ පෞද්ගලික බස් රථ 40 ක් සඳහා පළමුවෙන් ලබා දීමට කටයුතු කරන බවයි ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.