දකුණු කොරියානු හිටපු ජනපති ආර්යාව අත්අඩංගුවට

දකුණු කොරියාවේ හිටපු ජනාධිපති යූන් සුක්-යොල්ගේ බිරිඳ කිම් ක්‍යෝන්-හී අත්අඩංගුවට ගැනීමට දකුණු කොරියානු අධිකරණයක් නියෝග කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අපරාධ පරීක්ෂණවලට බාධා කිරීම සම්බන්ධයෙන් වන චෝදනා මත ඇය අත්අඩංගුවට ගැනීම සඳහා නඩු පවරන්නන් විසින් ඉල්ලීමක් කර තිබෙනවා.

කිම් ක්‍යෝන්-හී, පැය පහක නඩු විභාගයක් සඳහා අධිකරණයට ඉදිරිපත් වූ බවයි සඳහන්.

ඇයගේ අත්අඩංගුවට ගැනීමත් සමඟ, දැනටමත් බන්ධනාගාරගතව සිටින ඇයගේ සැමියා වන හිටපු ජනාධිපති යූන් ද ඇතුළත් සිරකරුවන් අතරට ඇය ද එක් වනු ඇති.

යූන්, දෙසැම්බර් මාසයේ හමුදා පාලනයක් පැනවීමට ගත් අසාර්ථක උත්සාහයක් සම්බන්ධයෙන් චෝදනා ලබා ඇති අතර, අප්‍රේල් මාසයේදී ඔහු ධුරයෙන් ඉවත් කෙරුණා.

කළු ඇඳුමකින් සැරසී සිටි කිම්, අධිකරණයට පැමිණි විට හිස නමා ආචාර කළ නමුත්, මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දීමෙන් වැළකී සිටියා.

නඩු විභාගයෙන් පසුව, සිරගත කිරීමේ ආඥාව නිකුත් කරන තෙක් සෝල්හි රඳවා තබා ගැනීමේ මධ්‍යස්ථානයක රැඳී සිටි බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

ඇයගේ අත්අඩංගුවට ගැනීම සඳහා හේතු වූ චෝදනා අතර,අල්ලස් ගැනීම් සහ නීති විරෝධී ලෙස බලපෑම් කිරීම්ද වෙනවා.

උදාහරණයක් ලෙස, 2022 දී NATO සමුළුවට සහභාගී වන අවස්ථාවේදී, ඇය මිලියන 60 කට වැඩි වටිනාකමකින් යුත් (ඇමරිකානු ඩොලර් 43,000 ක් පමණ) වෑන් ක්ලීෆ් පෙන්ඩනයක් පැළඳ සිටීම සම්බන්ධයෙන් ඇයට චෝදනා එල්ල වී තිබෙනවා.

නීතියට අනුව, මෙවැනි වටිනා භාණ්ඩයක් ඇයගේ මූල්‍ය වාර්තාවල සඳහන් කළ යුතු වුවද, ඇය එය සඳහන් කර නැති බවයි වාර්තා වෙන්නේ.

මීට අමතරව, මිලියන 20 ක (ඇමරිකානු ඩොලර් 14,500 ක් පමණ) වටිනා ෂනෙල් බෑග් දෙකක් සහ දියමන්ති මාලයක් ආගමික කණ්ඩායමකින් ලබා ගැනීම සම්බන්ධයෙන් ද ඇයට චෝදනා එල්ල වී තිබෙනවා.

නඩු පවරන්නන් කියා සිටින්නේ, සාක්ෂි විනාශ කිරීමේ සහ පරීක්ෂණවලට බාධා කිරීමේ අවදානමක් පවතින බැවින්, කිම් අත්අඩංගුවට ගැනීම සඳහා ඉල්ලීමක් කළ බවයි.

කිම් පවසා ඇත්තේ, ඇය පැළඳ සිටි පෙන්ඩනය, මීට වසර 20 කට පෙර හොංකොංහිදී මිලදී ගත් ව්‍යාජ එකක් බවයි.

කිම්ගේ නීතිඥයින් මේ පිළිබඳව අදහස් දැක්වීමක් නොකළ නමුත්, ඔවුන් මීට පෙර ඇයට එරෙහි චෝදනා ප්‍රතික්ෂේප කර තිබුණා.