අපෙන් පසුව මේ රට භාරගැනීමට අවශ්‍ය තරුණ පරම්පරාව අපි හැදිය යුතුයි – ජනපති

රාජ්‍යය භාරදීමට සුදුසුකම් ඇති නව තරුණ පරම්පරාවක් ඇති කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

තමන් අද ජනාධිපති ධුර, අමාත්‍ය ධුර සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන බවද, නමුත් තමා පුටුවේ වාඩි වන විටම එයින් බැස යන දිනය ගැනද අදහසක් ඇතිව පැමිණි බවද ජාතික තරුණ සමුළුවේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළා.

තම ධුරවල චිරාත් කාලයක් වැජඹීමේ අරමුණක් රජයට නොමැති බවත්, ඉතාම විනාශකාරී කණ්ඩායමක් අත තිබූ බලය වත්මන් රජය විසින් ලබා ගත් බවත්, එම බලය නුදුරු කාලයේදී තරුණ පරම්පරාවට ලබාදෙන බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ.

රට භාර ගැනීමට හැකියාව, නිපුණතාව, අවංකභාවය සහ හෘද සාක්ෂියක් ඇති නව තරුණ පරම්පරාවක් නිර්මාණය කළ යුතු බවත්, තමාගෙන් පසුව මේ රට භාර ගැනීමට අවශ්‍ය පරම්පරාව තමන් විසින් නිර්මාණය කළ යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.