A 9 මාර්ගයේ අනතුරකින් පුද්ගලයෙකු මරුට

A 9 මාර්ගයේ ආසපුල්ලේ ප්‍රදේශයේ ඊයේ (10) රාත්‍රී 7ට පමණ සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව පස් දෙනෙකු තුවාල ලබා තිබේ.

අනතුර සිදුව ඇත්තේ යතුරුපැදියක්,  ටිපර් රථයක්, ලොරි රථයක් සහ මෝටර් රථයක් ගැටීමෙනි.

මහනුවර යාපනය A 9 මාර්ගයේ ආසපුල්ල ප්‍රදේශයේ මාර්ගය අසල යතුරුපැදිකරු සමග යතුරුපැදියක් නතර කර තිබු අවස්ථාවේ යාපනය දෙස සිට පැමිණි ටිපර් රථයක් යතුරු පැදියේ ගැටීම වැළැක්වීම සඳහා තිරිංග ක්‍රියාත්මක කර ඇත.

එහිදී ඊට පිටුපසින් පැමිණි ලොරි රථයක් ටිපර් රථයේ ගැටීමත් සමග එය ඉදිරිපස තිබූ යතුරුපැදියේ ගැටී ලොරි රථය ද ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි මෝටර් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කරයි.

අනතුරෙන් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු චාවකච්චේරිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙන අතර ටිපර් රථයේ,  ලොරි රථයේ සහ මෝටර් රථයේ රියදුරන් සහ ලොරි රථයේ සහායකයා තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කර තිබේ.