අර්තාපල් අස්වනු අලෙවි කර ගැනීමට නොහැකිව ගොවීන් අසරණයි

යල කන්නයේ නෙළාගත් අර්තාපල් අස්වනු අලෙවි කර ගැනීමට නොහැකිව ඌව පළාතේ ගොවීන් අපහසුතාවට පත්ව සිටිනවා.

ඔවුන් පවසන්නේ ආනයනික අර්තාපල් අඩු මිලට වෙළෙඳපොළේ පැවතීම නිසා වෙළෙඳුන් සිය අස්වනු මිලදී නොගන්නා බවයි.

වැලිමඩ, ඌව පරණගම, බොරලන්ද, කැප්පෙටිපොළ ආදී ප්‍රදේශවල යල කන්නයේ අර්තාපල් අස්වනු මේ දිනවල ‍වෙළෙඳපොළට යහමින් ගෙනඑන අතර, පෙර වසරවලදී මෙන්ම මෙවරත් ආනයනික අර්තාපල් රට පුරා වෙළෙඳසැල්වල ගොඩගසා තිබෙනවා.

ආනයනික අර්තාපල් කිලෝවක් සිල්ලර වෙළෙඳපොළේ රුපියල් 200ත් 220ත් අතර මිලකට අලෙවි වන අතර දේශීය අර්තාපල් කිලෝවක් සිල්ලර වෙළෙඳපොළේ අලෙවි වන්නේ රුපියල් 380ත් 400ත් අතර මිලකටයි.

ගොවීන් පවසන්නේ ආනයනික අර්තාපල් මිල අඩුවීම හමුවේ වෙළෙඳුන් දේශීය අල මිල දී නොගන්නා බවයි.

දේශීය ගොවියා ශක්තිමත් කිරීම වෙනුවට විදේශීය අර්තාපල් ගෙන්වා වෙළෙඳපොළට නිකුත් කර, දේශීය ගොවියා වගාවෙන් ඈත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක බවට ගොවීන් චෝදනා කරනවා.