යෞවන සමාජ පිළිබඳව රනිල් වික්‍රමසිංහගෙන් විශේෂ ප්‍රකාශයක්

රටේ යෞවන සමාජ දේශපාලනය සඳහා යොදා නොගන්නා බව සියලු දෙනාම දැනගත යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ගේ ඉල්ලීමකට අනුව මීට වසර හතළිහකට පමණ පෙර, තමා යෞවන සමාජ ආරම්භ කළේ, තරුණ තරුණියන්ට එක්රැස් වන ස්ථානයක් ලෙසත්, ඔවුන්ගේ විනෝදාංශ, කලාව මෙන්ම වෙනත් වැඩ කටයුතු සඳහාත් බවයි විශේෂ ප්‍රකාශයක් කරමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ.

පසුගිය වසර හතළිහ ඇතුළත, යෞවන සමාජ මේ රටේ ප්‍රධාන තරුණ ව්‍යාපාරය බවට පත්ව තිබෙන බවත්, යෞවන සමාජවලින් ඉදිරිපත් වූ සමහර අය දේශපාලනයට පැමිණ ඇති අතර, සමහර අය ව්‍යාපාරවල නිරත වන බවද ඔහු සඳහන් කර තිබෙනවා.

මෑතකදී අමාත්‍යවරයා එම ව්‍යවස්ථාවට ඉදිරිපත් කළ සංශෝධන පිළිබඳව විශාල ප්‍රශ්නයක් මතු වී ඇති බවත්, මේ හේතුවෙන් උද්ඝෝෂණ ආරම්භ වී ඇති බවත්, මෙලෙස ඉදිරියටත් ගියහොත් යෞවන සමාජ ව්‍යාපාරය පිරිහීමට පත් වනු ඇති බවද හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

මේ ප්‍රශ්නය දුරදිග නොගොස් විසඳා ගත යුතු බවත්, මෙලෙස උද්ඝෝෂණ කරන හිටපු නිලධාරී කණ්ඩායම මෙන්ම දැනට පත්ව සිටින දිස්ත්‍රික් සංවිධානවල නියෝජිතයන් සමඟ සාකච්ඡා කර කඩිනමින් සියලු දෙනා සෑහීමකට පත්වන විසඳුමක් ලබා දෙන ලෙසත් හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.