මාරවිල සුද්දි මැරුවේ පොලිසියෙන් ඉස්සූ ගිනි අවියෙන් බවට සැකයක්

මාරවිල මරද ප්‍රදේශයේදී වසන්ති චතුරාණි හෙවත් සුද්දි නමැති මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටින කාන්තාවට වෙඩි තබා ඝාතනය කරනු ලැබුවේ කොම්පඤ්ඤවීදිය පොලිස් අවි ගබඩාවෙන් සොරාගත් රිවෝල්වරය යොදාගෙන දැයි පොලිස් විමර්ශන අංශ සැක කරනවා.

ගිනි අවිය පසුගිය 21 වෙනිදා පොලිස් අවි ගබඩාවෙන් සොරාගෙන තිබුණේ එම පොලිස් ස්ථානයේම සේවයේ නිරතව සිටි සැරයන්වරයකු විසින්.

රුපියල් ලක්ෂයක මුදලකට අවිය තමා මාවතගම අමිල නැමැති අයට ලබාදුන් බව සැරයන්වරයා ප්‍රශ්න කිරිමේදී පවසා තිබිණා.

විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ ගිනි අවිය ඔහු එසේ ලබාදී ඇත්තේ කුලී පදනම මත බවයි.

පසුව එම අවිය ඩී.ආර්. විජේවර්ධන මාවතේ කෝවිල් පාරේ සඟවා තිබියදී පසුගිය 07 වෙනිදා සොයාගැනීමට කොළඹ මධ්‍යම කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් සමත්ව තිබුණා.

මාරවිල ඝාතනය සිදුවන්නේ පසුගිය 22 වෙනිදාය. 21 වෙනිදා කොම්පඤ්ඤවීදිය පොලිසියෙන් සොරාගත් අවිය එම ඝාතනයට යොදාගත් බවට සැකකරන තොරතුරු විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

මේ ආකාරයට මෙම නිලධාරියා පොලිසියේ ගිනි අවි පාතාලයේ ක්‍රියාකාරකම්වලට ලබාදී තිබේදැයි සැකයක් ඇති බැවින් ඒ සම්බන්ධයෙන්ද විමර්ශන පැවැත්වෙන බව පොලිසිය සඳහන් කරනවා.